අශ්වයාගේ නව වසර උදාව වෙනුවෙන් එතෙර මෙතෙර සියලු චීන ජාතිකයන් වෙත චීන ජනපතිගෙන් ‍සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා‍ව, රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් චීනයේ සියලු ජනවාර්ගික කණ්ඩායම්, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපවල හා තායිවාන ප්‍රදේශයේ චීන ස්වදේශිකයන් මෙන්ම විදේශ ගතව සිටින චීන ජාතිකයන් වෙත වසන්ත උත්සව සුබ පැතුම් එක් කරයි. අද(14) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී රාජ්‍ය මණ්ඩලය පැවැත්වූ චීන නව වසර පිළිගැනීමේ උත්සවයේදී හෙතෙම සිය සුභාසිංසන පිරිනමමින් දේශනයක්ද සිදු කළේය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා උත්සවයේ මුලසුන දැරීය.

ගතවූ 2025 වසරේ සංකීර්ණ දෙස්-විදෙස් තත්ත්වයන් හමු වුවද වෙහෙස මහන්සියෙන් අරගල කිරීමෙන් චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා වූ ප්‍රධාන අරමුණු සුමට ලෙස සාක්ෂාත් කර ගෙන ඇති බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වන සාංවත්සරික සැමරුම 2026 වසරට යෙදේ. චීනයේ “15 වන පස්අවුරුදු සැලසුම” ක්‍රියාවට නැංවීමේ ආරම්භක වසරද මෙවර සනිටුහන් කරයි. මේ නිමිත්තෙන්, නවයුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය, මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කළ යුතු අතර, ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් මෙන්ම සුසංගත හා ස්ථාවර සමාජයක් තවදුරටත් සහතික කළ යුතුය. උදාවූ චීන සාම්ප්‍රදායික අශ්වයාගේ වසර තුළ සමස්ත ජනවාර්ගිකයින්ට, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සමග එක්ව, දැඩි අභිමානයෙන් හා අධිෂ්ඨානශීලීත්වයෙන් චීන නවීකරණය කරා ප්‍රබල ශක්තියකින් ගමන් කළ හැකි වෙතැයි චීන ජනාධිපතිවරයා එහිදී අපේක්ෂා පළ කළේය.

උත්සවයේදී අලංකාර සංදර්ශන ඉදිරිපත් කෙරුණු අතර, විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කළ 2000කට වැඩි පිරිසක් එම ප්‍රීතිමත් අවස්ථාවට එක්වූහ.