ආධිපත්‍යවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා චීනයෙන් සහ වියට්නාමයෙන් ඉල්ලා සිටියි.වියට්නාමයේ නිල සංචාරයකට එක්ව සිටින චීන ජනපතිවරයා එරට අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව අවධාරණය කළේ ය.
වියට්නාම කොමියුනිස්ට පක්ෂයේ සහ එරට රාජ්‍ය නායකත්වය යටතේ වියට්නාමය ලබා ඇති දේශපාලන හා සාමාජීය ස්ථාවරත්වය සහ ජයග්‍රහණ පිළිබඳ සතුටට පත් වන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසී ය.එමෙන්ම චීනයත් වියට්නාමයත් අතර උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරමින්, අන්‍යෝන්‍ය හුවමාරු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් වෙනුවෙන් දෙරටෙහි දේශපාලන පදනම තහවුරු කළ යුතු බව චීන ජනපති ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය. එහිදී ඉහළ මට්ටමේ හුවමාරු තීව්‍ර කිරීම සඳහා උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමට සහ ආධිපත්‍යවාදය, ඒකපාර්ශ්විකත්වය හා ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස ඔහු දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේ ය.
එමෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම ආසියාවේ හා ඉන් ඔබ්බට සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම හා ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරීම ක්‍රියාත්මක කරන ලෙසත් ජනපති ෂී ජින්පිං මහතා චීනයෙන් මෙන්ම වියට්නාමයෙන් ඉල්ලා ඇත.
තවද, ගොඩබිම් සහ මුහුදු මාර්ගයෙන් සම්බන්ධ වීම සඳහා දෙරටට ඇති භූගෝලීය වාසි වෙනුවෙන් දෙපාර්ශ්වයම පූර්ණ දායකත්වයක් ලබා දිය යුතු බව හෙතෙම මෙහිදී අවධාරණය කර තිබේ. නවීකරණය, කාර්මික සහයෝගීතාව, යටිතල පහසුකම් සංවර්ධනය, වෙළඳාම සහ ආයෝජන, 5ජී තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, පිරිසිදු බලශක්තිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය වැනි නැගී එන කර්මාන්ත ක්ෂේත්‍රයන් හි දෙරට අතර සහයෝගීතා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද චීන ජනපතිවරයා පෙන්වා දෙයි.
එහිදී හෙහෙම වැඩිදුරටත් සඳහන් කළේ, චීනය සහ වියට්නාමය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ස්ථිරව ආරක්ෂා කරමින් වඩාත් විවෘත වූ ද සමබර වූ ද සැමට ප්‍රයෝජනවත් ආර්ථික ගෝලීයකරණයක් සඳහා යාමට එක්ව ක්‍රියා කළ යුතු බවයි.එමෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි 75 වන සංවත්සරය සහ චීන වියට්නාම ද්විපාර්ශ්වික මානව සබඳතා වර්ෂය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
මේ අතර මෙහිදී අදහස් දක්වමින් වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා අවධාරණය කර සිටියේ චීන ජනපතිගේ මෙම රාජ්‍ය සංචාරය මෙම වසරේ දෙරට අතර සිදුවන වැදගත්ම ඉහළ මට්ටමේ හුවමාරුව බවයි.ෂී ජින්පිං මහතා මීට පෙර 2023 වසරේ දී වියට්නාමයේ සිදු කළ සංචාරයෙන් පසු දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය මෙන්ම සහයෝගිතාවය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ ය.
එමෙන්ම චීනයේ දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ සඳහා වියට්නාමය සිය අවංක සුබ පැතුම් එක් කරන බවත්, චීන රාජ්‍ය පාලනය සහ එහි සංවර්ධන දර්ශනය හා ආකෘතිය පිළිබඳ අත්දැකීම් ඇසුරින් බොහෝ දේ ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බවත් Pham Minh Chinh මහතා පැවසී ය.
තවද, සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය තුළ උපායමාර්ගික අවධානය පවත්වා ගැනීමටත්, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමටත් පියවර ගන්නා අතරම, ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල දී චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගැනීමට වියට්නාමය බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා මෙහිදී අවධාරණය කළේ ය.