ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් පොදුවේ පෙනී සිටීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lawrence Wong මහතා හමුවෙයි. ඊයේ (24) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී මෙම හමුව සිදු විය.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ධුරයට යළි තේරී පත් වූ Lawrence Wong මහතා වෙත ෂී ජින් පිං මහතා එහිදී සිය සුභ පැතුම් පිරිනැමීය.

මෙම වසර චීන-සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 35 වැනි සංවත්සරය සනිටුහන් කරයි. දෙපාර්ශ්වය සැමවිටම අන්‍යෝන්‍ය අවබෝධය හා ගෞරවය අනුගමනය කර ඇති අතර, එය දෙරටේ සබඳතාවන් හි ස්ථාවර හා විධිමත් සංවර්ධනය සඳහා ස්ථිර සහතික වීමක් ලබා දී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන-සිංගප්පූරු සහයෝගීතාවයෙන් Suzhou කාර්මික උද්‍යානය වැනි සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇති අතර එමගින් දෙරටෙහි නවීකරණය සඳහා වැදගත් සහයක් ලබා දී තිබෙන බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය.

දෙපාර්ශ්වය ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම ගැඹුරින් ප්‍රවර්ධනය කළ යුතු අතර ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය සහ කෘත්‍රිම බුද්ධිය වැනි විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. සමාන හා ක්‍රමවත් ගෝලීය බහු ධ්‍රැවීකරණය සහ විශ්වීය ප්‍රතිලාභයෙන් හා සහභාගිත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් දෙපාර්ශ්වයම පොදුවේ පෙනී සිටිය යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ධුරයට නැවත තේරී පත්වීමෙන් පසු තමා ආසියාන් සංගමයෙන් පිටත සංචාරයක නිරත වූ පළමු රට චීනය බව Lawrence Wong මහතා මෙහිදී පැවසීය. එකම චීනය ප්‍රතිපත්තිය අනුමත කරන සිංගප්පූරුව‘තායිවාන ස්වාධීනත්වය’ට දැඩි ලෙස විරෝධය පළ කරයි. ද්විපාශ්වික වෙළඳ හා ආයෝජන ව්‍යාප්ත කොට නව බලශක්ති යනාදී විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා පුළුල් කිරීමටත් දෙරට අතර සබඳතා වඩා විශාල වර්ධනයක් සාක්ෂාත් කරගැනීමටත් චීනය සමඟ කටයුතු කිරීමට සිංගප්පූරුව සූදානමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.