ආසියානු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සංවාදයට ලක් කෙරෙන Shangri-La සංවාදය ඇරඹේ

22 වැනි ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ සමුළුව ‍හෙවත් Shangri-La සංවාදයට චීන නියෝජිත පිරිසක් එක් වෙති.

ඊයේ (30) රාත්‍රියේ  සිංගප්පූරුවේ ආරම්භ වූ එම සංවාදය සඳහා 40කට වැඩි රටවල් හා කලාපවලින් පැමිණ සිටින රාජ්‍ය නායකයෝ, උසස් පෙළේ නිලධාරීහු, විශේෂඥයන් ඇතුළු 550ක පමණ පිරිසක් ද එක්ව සිටිති. ප්‍රංශය, නැගෙනහිර ටිමෝරය යන රටවල ජනාධිපතිවරුන් සහ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම්වරයා ඊට ඇතුළත් ය.

ආරාධනාවකට අනුව, එම සංවාදයට එක්ව සිටින චීන මහජන විමුක්ති හමුදා ජාතිකාරක්ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරන පිරිස, එහිදී විවිධ පාර්ශ්වයන් සමග එක්ව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම සංවාදය හෙට(01) දින දක්වා පැවැත්වීමට නියමිත ය.

2002 වසරේ දී ඇරඹි Shangri-La සංවාදය, ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ත්‍රස්ත සිද්ධියෙන් (9.11) පසු ආසියානු ශාන්තිකර කලාපයේ බිහි කෙරුණු බහුපාර්ශ්වික සහභාගීත්වයෙන් යුතු ආරක්ෂක කටයුතු පිළිබඳ සහයෝගිතා සංවාද ක්‍රමවේදයක් ලෙස සැලකේ. එමෙන් ම, එම කලාපය තුළ ආරක්ෂක කටයුතු සඳහා වන විශාලතම මෙන්ම ඉහළ පෙළේ බහුපාර්ශ්වික සංවාද සමුළුව ද මෙය වේ.