විවිධ සංඥා පාලනයට ඇමරිකාවේ නිෂ්පාදිත ඇතැම් කුඩා විද්‍යුත් චිප (analogue IC chips) සම්බන්ධයෙන්, දේශීය මිලට සාපේක්ෂව අඩු මිලට නිෂ්පාදන විදෙස් වෙළඳපලට විකිණීමට එරෙහි පරීක්ෂණයක් ආරම්භ කිරීමට චීනය පියවර ගෙන ඇත.
එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඇතැම් ඇනලොග් IC චිප් ආනයනය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන් කරමින් චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (13) මේ බව නිවේදනය කළේ ය.
මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු එහිදී පැවසුවේ, ඇමරිකාව මෑතකදී ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය ඉක්මවා ගොස් ඇති බව ය.
එමෙන්ම ඇමරිකාව අපනයන පාලනයන් සහ අධිකරණ බලය අනිසි ලෙස භාවිතා කර ඇති බවත්, චීනයේ චිප් නිෂ්පාදන සහ කෘතිම බුද්ධි කර්මාන්තය ද්වේෂ සහගත ලෙස අවහිර කර මර්දනය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
එවැනි භාවිතයන් ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර චීන ව්‍යවසායන් හි නිත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවන්ට හානි කර ඇති බව පවසන චීන වාණිජ අමාත්‍යංශය පවසන්නේ, චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ය.
චීන නීති සහ රෙගුලාසි මෙන්ම WTO නීතිරීතිවලට අනුකූලව චීනයේ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලීම පරිදි ආරම්භ කළ මෙම විමර්ශනය, විශේෂ තත්වයන් යටතේ මාස හයක දීර්ඝ කිරීමක් සහිතව, 2026 වසරේ සැප්තැම්බර් මස 13 වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇත.
මේ අතර, ඇමරිකාවේ අපනයන පාලන ලැයිස්තුවට චීන ආයතන කිහිපයක් එකතු කිරීමට ගෙන ඇති පියවරකට ප්‍රතිචාර දැක්වීමට ද චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (13) පියවර ගත්තේ ය.
අර්ධ සන්නායක, ජෛව තාක්‍ෂණය, අභ්‍යවකාශ සහ වාණිජ හා වෙළඳ සැපයුම් අංශවල චීන ආයතන ඉලක්ක කරගත් මෙම පියවරට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව එහි ප්‍රකාශකයෙක් එහිදී පැවසීය.
සැප්තැම්බර් 14 වන දින සිට චීනය ඇමරිකාව සමඟ ස්පාඤ්ඤයේ දී දෙරටේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිය දී චීන ව්‍යවසායන්ට සම්බාධක පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණය එහි සැබෑ අභිප්‍රායන් පිළිබඳ ගැටළු මතු කරන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.