ජපාන අගමැතිනි Takaichi Sanae චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිවැරදි ලෙස සලකා බලන ලෙස චීනය යළි එරටින් ඉල්ලයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ (26) පැවති ජාත්‍යන්තර නීතිමය පාලනය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයේදී මේ බව පැවසීය.
මීට වසර 80ට පෙර ස්ථාපිත කරන ලද ඈත පෙරදිග සඳහා වූ ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාව, දෙවන ලෝක යුද සමයේ ජපාන යුද අපරාධකරුවන්ට එරෙහිව නඩු විභාග පමුණුවා ඇති බව Fu Cong මහතා එහිදී සඳහන් කළේය. එහෙත්, මෑතකදී ජපාන අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික ප්රවණතාවට පටහැණිව සැලසුම් සහගත ලෙස චීනයේ තායිවානය සහ ජපානය සම්බන්ධ කර ගනිමින් යුදමය අයුරින් තායිවාන ප්‍රශ්නයට මැදිහත් විය හැකි බව ප්‍රකාශ කළාය. එමෙන්ම එම වැරදි ප්‍රකාශය ඉවත් කරගැනීම ද ඇය ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Fu Cong මහතා පැවසුවේ ජපාන අග්‍රාමාත්‍යවරියගේ මෙවැනි ප්‍රකාශ චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා සැලසුම් සහගතව මැදිහත් වීමේ උත්සාහයක් බවත්, පරාජයට පත්වූ රටක් ලෙසට ජපානය සතු ජාත්‍යන්තර වගකීම් වෙතින් බැහැර වීමක් බවත් ය.
මේ අතර, කිසිදු පදනමකින් තොරව ඇමරිකානු නියෝජිතයන් චීනයට එරෙහිව එල්ල කළ චෝදනාවකට ද චීන නිත්‍ය නියෝජිතවරයා මෙම විවාදයේදී විරෝධය පළ කළේය. චීනය ආක්රමණශීලීත්වයෙන් යුතුව නීත්‍යනුකූල නොවන ලෙස දකුණු චීන මුහුදු ප්‍රදේශයේ සිය ස්වෛරීත්වය පුළුල් කර ගන්නා බව ඇමරිකාව එහිදී ප්‍රකාශ කළේය.
දකුණු චීන මුහුදේ දූපත් සමූහය සහ ඒ ආශ්රිත මුහුදු ප්‍රදේශයේ ස්වෛරීභාවය චීනය සතු වීම අවිවාදාත්මක බව Fu Cong මහතා මෙහිදී පැවසීය. ඇමරිකාව, ඉතිහාසය හා සත්‍ය තොරතුරු පිළිබඳ කිසිදු තැකීමකින් තොරව අත්තනෝමතිකව වැරදි ප්‍රකාශ ඉස්මතු කර චීනය සතු මුහුදු හා ගුවන් ප්‍රදේශ වෙත ප්‍රවේශ වීම් පවා සිදු කර ඇති බව ද ඔහු එහිදී අවධාරණය කළේය. ඒ අනුව කලාපීය ස්ථාවරත්වය බිඳ දැමීමට ක්‍රියා කරනුයේ කවුරුන් ද යන්න ඉතා පැහැදිලි බව චීන නිත්‍ය නියෝජිතයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.