එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (28) මැද පෙරදිග කලාපය පිළිබඳ ඉහළ මට්ටමේ විවාදයක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී දේශනයක් පැවැත්විය.
ඉරාන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී ඔහු පැවසුවේ ඉරානයේ කටයුතු එරට ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත්,ජාතික ස්ථාවරත්වය පවත්වා ගැනීම සම්බන්ධයෙන් චීනය, ඉරානය පිළිබඳ බලාපොරොත්තු ඇතිව ඊට සහාය දෙන බවත්ය. බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකි බවත්,ඉරානයට එරෙහි ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයක් කලාපය අනපේක්ෂිත අගාධයකට තල්ලු කරනු ඇති බවත් ඔහු අවධාරණය කළේය. ඇමරිකාව සහ අනෙකුත් අදාළ රටවල්, ජාත්‍යන්තර ප්‍රජාවේ සහ කලාපීය රටවල ඉල්ලීම් බැරෑරුම් ලෙස සලකමින් මැද පෙරදිග සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් හිතකර බොහෝ දේ ඉටුකරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
ඒ අතරම,පලස්තීන ප්‍රශ්නය මැද පෙරදිග ගැටලුවෙහි හරය ලෙස පවතින බව Fu Cong මහතා පෙන්වා දුන්නේය. ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන ලෙසත්, පුළුල් හා කල් පවතින්නා වූ සටන් විරාමයක් ප්‍රවර්ධනය කරන ලෙසත්, විශේෂයෙන් ඊශ්‍රායලය ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන්ගෙන්,චීනය ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.