ඉරාන-ඊශ්‍රායල රාජ්‍යයන් හි වෙසෙන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට චීනය සූදානම්

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සියළු ශක්තීන් යොදවා සහතික කිරීමට චීනය සූදානම් වෙයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව නිසි ලෙස සහතික කරමින් වහාම ඔවුන් එම රටවල් දෙකෙන් ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සංවිධානය කිරීම සඳහා චීන විදේශ අමාත්‍යාංශය සහ අදාළ තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල, අදාළ දෙපාර්තමේන්තු සමඟ කටයුතු කරමින් සිටින බව Guo Jiakun මහතා අවධාරණය කළේය.

විදේශයන්හි සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීන රජය විශාල වැදගත්කමක් ලබා දෙයි. ඊශ්‍රායල-ඉරාන ගැටුම් ආරම්භ වීමෙන් පසු, චීන විදේශ අමාත්‍යාංශය සහ ඉරානයේ හා ඊශ්‍රායලයේ චීන තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල වහාම හදිසි ආරක්ෂණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කොට තිබේ. චීන පුරවැසියන්ගේ සහ ආයතනවල ආරක්ෂාව ඵලදායී ලෙස සහතික කරන ලෙස චීන පාර්ශ්වය ඊශ්‍රායලයෙන් හා ඉරානයෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.