චීනයේ ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහනක් වන එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරමින් ඉතියෝපියාව සමඟ ද එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන තවදුරටත් පුළුල් කරමින් ඉතියෝපියාවේ Addis Ababa-Djibouti දුම්රිය මාර්ගයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් චීනයේ දායකත්වය ලබා දීම එහි නවතම පියවර බව Li Qiang මහතා පැවසීය.
ඉතියෝපියානු අග්‍රාමාත්‍ය Abiy Ahmed සමග ඊයේ(7) බ්‍රසීලයේ Rio de Janeiro නගරයේදී පැවති හමුවක දී චීන අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත.
චීනය සහ ඉතියෝපියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවුණු වසර 55ක කාලය තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද, දෙරට සැමවිටම එකිනෙකා වෙත අවංකව සහයෝගය දැක් වූ බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය දිගු කලක් පුරා චීන-අප්‍රිකානු සහයෝගීතාවයේ පෙරමුණ ගෙන ඇති බවත් ඔහු පැවසීය.
තවද ඉතියෝපියාවට ස්වාධීනව එහි ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කිරීමටත්, යටිතල පහසුකම්, නව බලශක්ති වාහන, හරිත කර්මාන්ත, ඊ-වාණිජ්‍යය සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව ගැඹුරු කිරීමට මෙන්ම සංචාරක, තරුණ, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රයන් හි හුවමාරු තීව්‍ර කිරීමටත් චීනය සහාය වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය Li Qiang මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ඉතියෝපියානු අග්‍රාමාත්‍ය Abiy Ahmed මහතා සඳහන් කළේ, ඉතියෝපියාව සහ චීනය විශ්වාසදායක සර්වකාලීන උපායමාර්ගික හවුල්කරුවන් බවයි.
එමෙන්ම ඉතියෝපියාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබා දෙන දිගුකාලීන සහයෝගය අවංකවම අගය කරන බවත් හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර කටයුතුවලදී, විශේෂයෙන් ගෝලීය සංවර්ධනය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරු තීව්‍ර කිරීමට සහ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගැඹුරු කිරීමට තම රට සූදානම් බව ද ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.