කාන්තාවන්ගේ පූර්ණ ප්‍රගමනය තවදුරටත් සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් කාන්තාවන්ගේ පූර්ණ ප්‍රගමනය තවදුරටත් සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව අද(13) ආරම්භ විය. එහිදී හෙතෙම ‘කාන්තාවන්ගේ පූර්ණ නව ප්‍රගමනය වේගවත් කිරීම උදෙසා බෙයිජිං ලෝක කාන්තා සමුළුවේ ජීවගුණය ප්‍රචලිත කරමු ’ යන මැයෙන් දේශනයක් සිදු කළේය.

වසර 30කට පෙර බෙයිජිං හි පැවති ලෝක කාන්තාවන්ගේ සිව්වන සමුළුවේ දී සංධිස්ථානාත්මක ‘බෙයිජිං ප්‍රකාශනය’ සහ ‘මෙහෙයුම් මාර්ගෝපදේශය’ සම්මත කෙරුණු බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය යුගයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් ලෙසට එහිදී අවධාරණය කෙරුණු අතර, සමස්ත ලෝක වාසීන් ඒ සඳහා අඛණ්ඩ ව කැපවීම ඉන් දිරිගැන්වූ බව ද හෙතෙම කියා සිටියේය.

ඉදිරිය දෙස බලා, කාන්තාවන් පිළිබඳ බෙයිජිං ගෝලීය නායක සමුළුවේ මුල් අභිලාෂයන් සිහිපත් කරමින් කාන්තා ප්‍රවර්ධන ව්‍යායාමයේ අංගසම්පූර්ණ සංවර්ධනය තවත් වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා පුළුල් එකඟතාවකට එක් වෙමින් වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු යැයිද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. මේ සඳහා සිව්වැදෑරුම් යෝජනාවලියක් ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළේය.

එහි පළමුවැන්න, කාන්තාවන්ගේ සංවර්ධනයට හිතකර පරිසරයක් පොදුවේ නිර්මාණය කළ යුතු යන්නයි. දෙවනුව, කාන්තා ප්‍රවර්ධනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීමට බලවත් ගාමක බලයක් ලබා දිය යුතුය. තුන්වනුව, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමේ පරිපාලන සමස්තයක් පොදුවේ ගොඩනැගිය යුතුය. සිව්වනුව, ගෝලීය කාන්තාවන්ගේ සහයෝගතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ නව පරිච්ඡේදයක් එක්ව නිර්මාණය කළ යුතුය.

මේ අතර, ලොව පුරා කාන්තා සංවර්ධනයට තවදුරටත් සහාය වීම සඳහා ඉදිරි වසර පහ තුළ චීනය එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයට ඇ.ඩො. මිලියන 10ක් පරිත්‍යාග කිරීමට සූදානම් බව ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර සංවිධාන සමඟ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, ඇ. ඩො. මිලියන 100 ක ගෝලීය සංවර්ධන සහ දකුණු-දකුණු සහයෝගිතා අරමුදලක් ලබා දීමට ද චීනය සැරසේ. කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට ප්‍රමුඛත්වය දෙමින්, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන ක්ෂේත්‍රයේ “කුඩා පරිමාණ මෙන් ප්‍රයෝජනවත්” ව්‍යාපෘති 1,000 කට ආධාර ලබා දීමට නියමිත ය.  එමෙන්ම හුවමාරු සහ පුහුණුව සඳහා චීනයට පැමිණෙන ලෙස කාන්තාවන් පනස් දහසකට ආරාධනා කෙරේ. කැපී පෙනෙන ප්‍රවීණ කාන්තාවන් පිරිසක් බිහි කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ කාන්තාවන්ගේ නිපුණතා සංවර්ධන සහයෝගීතාවය පැවැත්වීමට චීනය අපේක්ෂා කරයි. මේ සඳහා “ගෝලීය කාන්තා නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමට දායක වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන් ම, එම සමුළුවට එක්ව සිටින, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු ජාත්‍යන්තර ආරාධිතයෝ කිහිප දෙනෙක් ද එහිදී දේශනයක් පැවැත්වූහ.

මීට අමතරව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව අද (13) දහවල්, ජාත්‍යන්තර ආරාධිතයන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පිරිනැමූහ.