ගල්ෆ් හා මැද පෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා චීනය හා පාකිස්ථානයෙන් යෝජනාවලියක්

ගල්ෆ් හා මැද පෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා චීනය හා පාකිස්ථානය කරුණු පහකින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කරයි. චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ පාකිස්ථාන නියෝජ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍ය Mohammad Ishaq Dar මහතා අතර බෙයිජිං හී පැවති සාකච්ඡාවලදී එම යෝජානාවලිය ඉදිරිපත් කෙරිණ.

එම යෝජනාවන්ට අනුව එදිරිවාදී ක්‍රියා වහාම නතර කළ යුතු ය. චීනය සහ පකිස්ථානය ඒ සඳහා උපරිම උත්සාහයක් ගන්නා මෙන් ඉල්ලා සිටින අතර යුද්ධයෙන් පීඩාවට පත් සියලුම ප්‍රදේශවලට මානුෂීය ආධාර ලබා දිය යුතු බව ද අවධාරණය කරයි. හැකි ඉක්මනින් සාම සාකච්ඡා ආරම්භ කළ යුතු අතර ඉරානයේ සහ ගල්ෆ් රාජ්‍යයන්හී ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ජාතික ස්වාධීනත්වය සහ ආරක්ෂාව සහතින කළ යුතු ය. ගැටුම් නිරාකරණය කිරීමට ඇති එකම ශක්‍ය විකල්පය සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය බව අවධාරණය කෙරේ.

සාකච්ඡා ආරම්භ කිරීමේදී චීනය සහ පාකිස්ථානය අදාළ පාර්ශ්වයන්ට සහාය දක්වන අතර සාම සාකච්ඡා අතරතුර බලය භාවිත කිරීමෙන් හෝ තර්ජනය කිරීමෙන් වැළකී සිටිය යුතු බව එම යෝජනාවලිය මගින් පෙන්වා දෙයි.

සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ මූලධර්මය නිරීක්ෂණය කළ යුතු අතර සිවිල් වැසියන්ට සහ හමුදාමය නොවන ඉලක්කවලට එල්ල වන ප්‍රහාර වහාම නතර කළ යුතු බව ද ඉන් අවධාරණය කෙරේ. ජාත්‍යන්තර මානුෂීය නීතියට සම්පූර්ණයෙන්ම අනුගත විය යුතු ය. බලශක්තිය, ජලයේ ලවණ ඉවත් කෙරෙන පහසුකම්  සහ විදුලිබල පහසුකම් ඇතුළු වැදගත් යටිතල පහසුකම් සහ න්‍යෂ්ටික බලාගාර වැනි සාමකාමී න්‍යෂ්ටික යටිතල පහසුකම්වලට පහර දීම නතර කරන ලෙස චීනය සහ පාකිස්ථානය ගැටුමට සම්බන්ධ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද එම යෝජනාවලියේ දැක්වේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති‍ නෞකා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂාව  සහතික කරන ලෙස ඉල්ලා සිටින චීනය සහ පාකිස්ථානය සිවිල් සහ වාණිජ නෞකාවන්ට කඩිනමින් හා ආරක්ෂිතව ඒ හරහා  ගමන් කිරීමට ඉඩ සලසන ලෙසත්, හැකි ඉක්මනින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන ලෙසත් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රමුඛ කර ගනිමින් සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුතු අතර , එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ ජාත්‍යන්තර නීතියේ අරමුණු සහ මූලධර්ම මත පදනම්ව පුළුල් සාම රාමුවක් සහ කල් පවතින සාමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගිවිසුමක් අවසන් කිරීමට සහාය වන ලෙසත් චීනය සහ පාකිස්තානය සිය යෝජනාවලිය මගින් අදාළ පාර්ශ්වයන්‍ ගෙන් ඉල්ලා සිටී.