ගාසා තීරයේ දිගුකාලීන සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව චීනය කියයි

ගාසා තීරයේ දිගුකාලීන සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව චීනය අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත ෆු ත්සොං මහතා ඊයේ (28) පැවති පලස්තීන-ඊශ්‍රායල ගැටුම පිළිබඳ ආරක්ෂක මණ්ඩල රැස්වීමකට එක් වෙමින් මේ බව අවධාරණය කළේ ය.

ඉකුත් 16වැනි දා සිට ඊශ්‍රායලය ගාසා තීරයේ යුද මෙහෙයුම් අඛණ්ඩව උත්සන්න කිරීමෙන් ගාසා වැසියන් 1000කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. මෙවන් ක්‍රියා කලාපයකින් ජීවිත අහිමිවීම් හා වෛරය තවදුරටත් වැඩි වීම මිස ප්‍රාණ ඇපකරුවන් නිදහස් වීමක් සිදු නොවන බව ෆු ත්සොං මහතා එහිදී සඳහන් කළේය.එබැවින් ගාසා තීරයේ දිගුකාලීන සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කළ යුතු ය. ඊශ්‍රායලය සියලු හමුදා මෙහෙයුම් වහාම නතර කළ යුතු ය. එසේ ම ගාසා තීරයේ මානුෂීය අර්බුදය නිරාකරණය වෙනුවෙන් ඊශ්‍රායලය පනවා ඇති බාධක ඉවත් කරමින් මානුෂීය ආධාර සැපයුම් සඳහා ප්‍රවේශය ලබා දිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නි‍යෝජිතවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.