ගැටුම්කාරී ඉරාන යෝජනාව බලහත්කාරයෙන් සම්මත කර ගැනීම තත්ත්වය තවත් දරුණු කිරීමක් බව චීනය කියයි

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කෙරුණු ඉරානයට අදාළ ගැටුම්කාරී යෝජනාව, බලහත්කාරයෙන් සම්මත කර ගැනීම තත්ත්වය තවත් දරුණු කිරීමක් බව චීනය පවසයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ චීන නිත්‍ය නියෝජිත ලී සොන්ග් මහතා ඊයේ (20) පැවති එම රැස්වීමට එක්වෙමින් සඳහන් කළේ, ඉරාන න්‍යෂ්ටික ගැටලුවෙහි වත්මන් දුෂ්කර තත්ත්වයට වගකිව යුත්තේ, සිය බලය යොදවමින් උමතු ලෙස ගැටුම්කාරී තත්ත්වයන් සහ පීඩනයක් එල්ල කළ රටවල් බවය.

ඉරානයේ න්‍යෂ්ටික ගැටලුවට අදාළව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය එක්ව ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්මත කිරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මෙම රැස්වීමේ දී සිදු විය.

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව සහිත සාමාජික රටවල් 34 අතරින් චීනය, රුසියාව සහ නයිජර් යන ර‍ටවල් අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් අතර, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඊජිප්තුව සහ තායිලන්තය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. 

මෙහිදී අදහස් දක්වමින් චීන නිත්‍ය නියෝජිත ලී සොන්ග් මහතා ප්‍රකාශ කළේ, මෙම වසරේ ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ ඇමරිකාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ආරක්ෂණ විධිවිධාන යටතේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත නොබියව පහර දුන් බවය. ඉරාන න්‍යෂ්ටික ගැටළුව සම්බන්ධයෙන් පැවති තත්ත්වය යළි ආපසු හැරීමකට මෙම ප්‍රහාර හේතු වූ බව පෙන්වා දුන් හෙතෙම එහිදී අවධාරණය කළේ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද එවැනි ක්‍රියාවක් දැඩිව  හෙළා දැකිය යුතු බවය.