ගෝලීය උපාය මාර්ගික ස්ථාවරත්වය පිළිබඳ චීන-රුසියා ඒකාබද්ධ නිවේදනයක්

ගෝලීය උපාය මාර්ගික ස්ථාවරත්වය පිළිබඳව චීනය හා රුසියාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි. දෙවැනි ලෝක යුද ජයග්‍රහණයේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80 වැනි සංවත්සර නිමිති කර ගනිමින්, ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂක ක්ෂේත්‍රයෙහි ජගත් ප්‍රජාව මුහුණ දී සිටින බැරෑරුම් අභියෝග හමුවේ චීනය හා රුසියාව ඊයේ (8) එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ ය. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු නිල සංචාරයක නිරත වූ අතරතුර ය. ගෝලීය උපාය මාර්ගික ස්ථාවරත්වය රැක ගැනීමේ හා තහවුරු කිරීමේ වැදගත්කම එම නිවේදනය මගින් අවධාරණය කෙරේ.

ගෝලීය හා කලාපීය ආරක්ෂාව සම සේ සැලකිය යුතු මෙන් ම එකිනෙකගෙන් වෙන් කළ නොහැකි මූලධර්මයෙහි විවිධ රටවල් නියැළී සිටිය යුතු බවත්, ගෝලීය උපාය මාර්ගික ගැටළු නිරාකරණය සඳහා බලවත් රටවල් අතර සංවර්ධනාත්මක සබඳතා පවත්වා ගැනීම වැදගත් බවත්, එම ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දෙයි. න්‍යෂ්ටික අවි සතු රටවල් අතර සන්නද්ධ ගැටුම් හටගැනීම හා එම රටවල් අතර ගැටුම් වඩාත් උග්‍රවීමේ අවදානම් ක්‍රමානුකූලව අවම කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරේ. ” න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත ගිවිසුම” ජාත්‍යන්තර න්‍යෂ්ටික නිර්ව්‍යාප්ත පද්ධතියේ අඩිතාලමකි. එසේ ම ”ජෛව අවි තහනම් සම්මුතිය” හා ”රසායනික අවි තහනම් සම්මුතිය” පූර්ණ වශයෙන් අනුගමනය කිරීමේ යුතුකම විවිධ රටවලට පැවරී ඇතැයි ද එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.

එසේ ම අවි පාලනය හා නිරායුධකරණ ක්‍රියාවලිය ”ගෝලීය උපාය මාර්ගික ස්ථාවරත්වය රැක ගැනීම” සහ ” විවිධ රටවල ආරක්ෂාවට හානි සිදු නොවීම ” යන මූලධර්ම මත ක්‍රියාත්මක කළ යුතු බව ද චීන-රුසියා ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.