චීනයට එරෙහි මෙක්සිකෝවේ වෙළඳ හා ආයෝජන බාධක පිළිබඳ පරීක්ෂණයක්

චීනයට එරෙහි මෙක්සිකෝවේ වෙළඳ හා ආයෝජන බාධකයන්ට අදාළ සීමාකාරී පියවරයන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් සඳහන් කර ඇත්තේ, අදාළ විමර්ශනය ඊයේ (25) දින සිට බලාත්මක වූ බවය.

මෙහිදී විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත සීමාකාරී පියවර අතරට, චීනයෙන් සහ අනෙකුත් නිදහස් වෙළඳ ගිවිසුම් නොවන හවුල්කරුවන්ගේ නිෂ්පාදන සඳහා තීරුබදු ඉහළ නැංවීමේ මෙක්සිකානු රජයේ සැලසුම් මෙන්ම මෑත වසරවලදී චීනයට එරෙහිව පනවා ඇති අනෙකුත් වෙළඳ හා ආයෝජන සීමාවන් ද ඇතුළත් බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

ඇමරිකාව තීරුබදු ඉහළ නැංවීම් අනිසි ලෙස භාවිතා කිරීමේ වත්මන් සන්දර්භය තුළ, සියලු රටවල් ඒකාබද්ධව සියලු ආකාරයේ ඒකපාර්ශ්විකත්වයට සහ ආරක්ෂණවාදයට විරුද්ධ විය යුතු බව මාධ්‍ය හමුවේ පිළිතුරු දෙමින් අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවසීය.

එහිදී අන් අයගේ බලහත්කාරකම් මත තෙවන පාර්ශ්වයන්ගේ අවශ්‍යතා කැප නොකළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලෝක වෙළඳ සංවිධානයේ රාමුව තුළ වුවද, මෙක්සිකෝව ඒකපාර්ශ්විකව අතිරේක තීරුබදු පැනවීම ක්‍රියාත්මක කළහොත්, එය චීනය ඇතුළු එහි අදාළ වෙළඳ හවුල්කරුවන්ගේ අවශ්‍යතාවන්ට හානි කිරීමක් සේම, ව්‍යාපාරික පරිසරයේ නිශ්චිතභාවයට ද බරපතල බලපෑමක් වනු ඇති බවත් ඔහු පැවසීය.

එය මෙක්සිකෝවේ ආයෝජනය කිරීම කෙරෙහි ව්‍යවසායන් තුළ ඇති විශ්වාසය අඩපණ කරන බවත්, චීනය එවැනි ක්‍රිවන්ට දැඩිව විරුද්ධ වන බවත් චීන වාණිජ අමාත්‍යංශය මෙහිදී අවධාරණය කළේය.

මේ අතර මෙම විමර්ශනය ආරම්භ කිරීමට අමාත්‍යංශය ගත් තීරණය චීනයේ අදාළ කර්මාන්තයන් හි අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීම අරමුණු කරන බැවින් එහි ප්‍රතිඵල මත පදනම්ව සාධාරණ තීන්දුවක් ලබා දෙමින් චීනයේ නිත්‍යානුකූල අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බව අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.