අධික තීරුබදු පැනවීමෙන් පසුගිය දා ලොවම කැළඹූ ඇමරිකානු රජය ඉකුත් 12වැනි දා තීරුබදු සම්බන්ධව නවතම වෙනසක් සිදු කර ඇත. එනම් පරිගණක, ස්මාර්ට් ජංගම දුරකථන, අර්ධ සන්නායක නිෂ්පාදන උපකරණ වැනි නිෂ්පාදන ”අන්‍යෝන්‍ය තීරුබදු ”වලින් නිදහස් කිරීම ය. එය ඇමරිකාව චීනය කෙරෙහි අනුගමනය කරන දැඩි තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් වීමේ පළමු සංඥාව බව බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත ඇතුළු විදෙස් මාධ්‍ය අදහස් පළ කර තිබේ.
ලොව දෙවැනි විශාලතම අතරමැදි නිෂ්පාදන ආනයනකරු හා අපනයනකරු ලෙස ඇමරිකාව සිය මධ්‍යම හා ඉහළ පෙළේ නිෂ්පාදන සඳහා චීනය ඇතුළු ප්‍රබල නිෂ්පාදන හැකියාව සේ ම කර්මාන්ත ඒකාබද්ධ කිරීමේ ඉහළ හැකියාව සතු , නැගී එන නව ආර්ථිකයන් සමග දැඩි ලෙස බැඳී සිටී. නිදසුන් වශයෙන් ඇපල් සමාගමේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් හා එකලස් කිරීමෙන් 90%ක් සිදු කෙරෙන්නේ චීනයේදී ය. ඇමරිකාව චීනයට අධික තීරුබදු පැනවීම හේතුවෙන් ඇපල් ජංගම දුරකථන මිළ ගණන් 30% හෝ 40% දක්වා ඉහළ යයි. ඇපල් ජංගම දුරකථන එකලස් කිරීම චීනයේ සිට ඇමරිකාව වෙත මාරු කළහොත් නිෂ්පාදන පිරිවැය 25%කින් වැඩි වෙයි. ”අන්‍යෝන්‍ය තීරුබදු ”එකතු කළ පසු එම නිෂ්පාදන පිරිවැය 91% දක්වා ඉහළ යනු ඇතැයි ද තක්සේරු කෙරේ. එබැවින් ඇමරිකානු රජය අදාළ නිෂ්පාදන සිය ”අන්‍යෝන්‍ය තීරුබදු ”වලින් ඉවත් නොකළහොත් ඇමරිකාවේ විද්‍යා තාක්ෂණ කර්මාන්තය යළි වසර 10කින් පසුපසට යනු ඇත. එමෙන් ම කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ඇමරිකාව සිදු කරන විප්ලවීය ක්‍රියාවලිය ද කැපී පෙනෙන ලෙස මන්දගාමී වනු ඇති බවට අනතුරු ඇඟවී තිබේ.
ඉකුත් දෙවැනි දා ඇමරිකාව සිය ”අන්‍යෝන්‍ය තීරුබදු ”ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර වැඩි කාලයක් ගත නොවුව ද ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය තුළ දැඩි කම්පනයක් සිදු විය. පරිගණක, ස්මාර්ට් ජංගම දුරකථන ඇතුළු නිෂ්පාදන ”අන්‍යෝන්‍ය තීරුබදු ”වලින් නිදහස් කිරීම, ඇමරිකාව සිය ඒකපාර්ශ්වික තීරුබදු ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා දැරූ සුළු උත්සාහයක් බවට චීනය අදහස් පළ කළේ ය. තීරුබදු සම්බන්ධව ඇමරිකාව මීට වඩා නිවැරදි කිරීම් කළ යුතු බව ද චීනය පෙන්වා දී තිබේ.