චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා හමුවෙයි. මෙම හමුව අද (17) පෙරවරුවේ අස්තානා හි පැවති දෙවන චීන-මධ්‍යම ආසියානු සමුළුව අතරතුර සිදුවිය.
පසුගිය වසරේ තමන් ටජිකිස්ථානයේ නිල සංචාරයක නිරත වූ බවත්, චීනය සහ ටජිකිස්ථානය අතර නව යුගයේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීම එහිදී දෙපාර්ශ්වය එක්ව නිවේදනය කළ බවත්, දෙරටේ සර්ව සම්පූර්ණ සහයෝගීතාව සඳහා නව සැලසුම් සහ විධිවිධාන සකස් කළ බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම දෙපාර්ශ්වය වේගවත්ව ක්‍රියාත්මක වෙමින් වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගත යුතු අතර,උසස් තත්ත්වයේ පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.
බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනයට මෙන්ම ටජිකිස්ථානයට පොදු අවශ්‍යතා ඇති බවත්,චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාව වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් හි සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනයේ ආර්ථිකය සහ සමාජය සැලකිය යුතු සංවර්ධන ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවත් ජාත්‍යන්තර කටයුතුවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවත් Emomali Rahmon මහතා පැවසීය. එමෙන්ම, චීනය සමඟ සම්බන්ධීකරණය හා සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ශැංහයි සහයෝගිතා සංවිධානය සහ චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණය ප්‍රවර්ධනය කර විශාල කාර්යභාරයක් ඉටු කිරීමටත් ටජිකිස්ථානය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
මෙම හමුවෙන් අනතුරුව, රාජ්‍ය නායක දෙපළ එක්ව රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා වෙළඳ, ප්‍රවාහන, විද්‍යාව හා තාක්ෂණය යනාදී ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතා ලියකියවිලි ගණනාවකට අත්සන් තැබීම ද සිදු විය.