චීනයත් ප්‍රංශයත් ආර්ථික හා මූල්‍ය සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට කැප වන බව අවධාරණය කරයි

චීනය සහ ප්‍රංශය අතර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතා‍වයේ නවතම ප්‍රවර්ධන තත්ත්වයන් සහ දෙපාර්ශ්වයම පොදු උනන්දුවක් දක්වන සෙසු කරුණු පිළිබඳ ගැඹුරු සාකච්ඡා සඳහා චීන උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා‍ සහ ප්‍රංශ මුදල් අමාත්‍ය Roland Lescure මහතා ඊයේ (17) ප්‍රංශයේ පැරිස් නගරයේදී එක් විය.

දෙරට අතර පැවති මෙම ඉහළ මට්ටමේ සංවාදය සඳහා චීනය වෙනුවෙන් එක් වූ ප්‍රධාන නියෝජිතයා වන He Lifeng මහතා මෙහිදී අවධාරණය කළේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රංශය සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි.

එමෙන්ම ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි හුවමාරු සහ සහයෝගීතා තවදුරටත් ගැඹුරු කිරීම සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාවන්හි ස්ථාවර හා තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ‍ඔහු එහිදී අවධාරණය කළේය. මීට පෙර පැවති චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රංශ පාර්ශ්වය දැනුවත් කිරීමත් ඔහු මෙහිදී සිදු කළේය. 

ප්‍රංශය වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටි එර‍ට ප්‍රධාන නියෝජිතයා වන Lescure මහතා මෙහිදී පැවසුවේ ප්‍රංශය, චීනය සමඟ සහයෝගීතාවයට විශාල වැදගත්කමක් දක්වන බවයි.

එමෙන්ම දෙරට අතර ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට සහ වැඩි ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් චීන පාර්ශ්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.