චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්

15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ ප්‍රදේශ කිහිපයක ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක් අද (30) පෙරවරුවේ ෂැංහයිහිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම අවස්ථාවට එක් වී දේශනයක් පැවැත්වීය.

මෙම වසර 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අවසන් වසර බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අරමුණු ඉටු කිරීම වේගවත් කරන අතරම, පවතින තත්ත්වයේ වෙනස්කම්වලට අනුව මනාව උපායමාර්ගික ප්‍රමුඛතා ග්‍රහණය කර ගත යුතු බව ඔහු කියා සිටියේය. 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය නිසි ලෙස සැලසුම් කළ යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර ඇත.

පස් අවුරුදු සැලැස්ම නිසි ලෙස සකස් කිරීම සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රට පාලනය කිරීමේදී වැදගත් අත්දැකීමක් වන අතර, එය චීන මාදිලියේ සමාජවාදයේ වැදගත් දේශපාලන වාසියක් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ සැලසුම් කිරීමේදී, විවිධ කාලපරිච්ඡේදයක විවිධ අවශ්‍යතා නිවැරදිව ග්‍රහණය කර ගත යුතු බව ඔහු කියා සිටියේය. එමෙන්ම අඛණ්ඩව ශක්තිමත් රටක් ගොඩනැංවීම, ජාතික පුනර්ජීවනය, සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය ඉටු කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කෙරිණ. මේ අතර, එක් එක් ක්ෂේත්‍රය පිළිබඳ සුදුසු ඉලක්ක ඉදිරිපත් කරමින් නිසි ක්‍රියාමාර්ග සකස් කළ යුතු බව ෂී ජින් පිං මහතා පැවසීය.

15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ සැලසුම් කිරීමේදී, වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය රටට එල්ල කරන බලපෑම පුරෝකථනය කළ යුතු අතර, ඒ අනුව රටේ ආර්ථික සැලැස්ම ඵලදායිව ප්‍රශස්ත කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ප්‍රාදේශීය තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීම වඩාත් ප්‍රමුඛ උපායමාර්ගික ස්ථානයක තැබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, ජනතාවට වඩා ප්‍රතිලාභ සැලසීම මූලික දිශානතිය ලෙස ගත යුතු ය. විවිධ ප්‍රදේශ රටේ සමස්ත තත්ත්වය තුළ නිවැරදිව ස්ථානගත කර ගෙන, සැලසුම් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

චීන අගමැති ලී ච්‍යං මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා කාර්යාලයේ අධ්‍යක්ෂ Cai Qi මහතා ද එම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටියහ.