චීනය ඇතුළු රටවල් 16ක ආර්ථිකයන් ඉලක්ක කළ ඇමරිකාවේ විමර්ශනයන්ට එරෙහිව චීනයේ විරෝධය

ඊනියා “අධික නිෂ්පාදන ධාරිතාව” හේතුවෙන් චීනය ඇතුළු ලොව රටවල ආර්ථික ඒකක 16කට එරෙහිව ඇමරිකාව, 301 වගන්තියේ විමර්ශනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය පසුගිය 11 වැනිදා “අධික නිෂ්පාදන ධාරිතාව” උපුටා දක්වමින් චීනය ඇතුළු රටවල් 16කට එරෙහිව 301 වගන්තියේ විමර්ශනයක් ආරම්භ කළේය. ඒ සමඟම, “බලහත්කාර ශ්‍රමය සම්බන්ධ නිෂ්පාදන ආනයනය කිරීම තහනම් නොවීම” යන පදනම මත රටවල් 60කට එරෙහිව අදාළ 301 වගන්තියේ විමර්ශන සිදු කර ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම ප්‍රකාශකයා පැවසුවේ, 301 වගන්තියේ විමර්ශනය යනු ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙළ බරපතල ලෙස අඩපණ කරන ඒකපාර්ශ්වික ක්‍රියාවක් බවයි. 301 වගන්තියේ විමර්ශනය යටතේ ගනු ලබන තීරුබදු පියවර, ලෝක වෙළඳ සංවිධානයේ අදාළ රෙගුලාසි උල්ලංඝනය කරන බව සංවිධානයේ විශේෂඥයන් දැනටමත් තීන්දු කර ඇත. තම වැරදි ක්‍රියාවන් නිවැරදි කර ගනිමින්, සංවාද හා සාකච්ඡා පැවැත්වීමෙන් ගැටලු විසඳා ගන්නා ලෙස, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවත් තම නීත්‍යනුකූල අයිතිවාසිකම් අධිෂ්ඨානශීලීව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ අයිතිය චීනය සතු වන බවත් එම ප්‍රකාශකයා මෙහිදී අවධාරණය කළේය.