චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8ක් ප්‍රකාශයට පත් කෙරේ

චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8ක් ප්‍රකාශයට පත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (18) පැවති 19වැනි ජී-20 නායක සමුළුවේදී එම පියවර ප්‍රකාශයට පත් කළේ ය.

චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම, එහි පළමු පියවර ය. ඒ සඳහා චීන යුවාන් බිලියන 700ක මූල්‍ය පහසුකම් අලුතින් ස්ථාපිත කරන අතර සේද මාවත අරමුදල සඳහා තවත් චීන යුවාන් බිලියන 80ක් එක් කෙරේ.

දෙවැනි පියවර වන්නේ චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම තවදුරටත් ක්‍රියාවට නංවාලීම ය. දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 1100කට වැඩි සංඛ්‍යාවක් පදනම් කරගෙන “ගෝලීය දකුණ” පර්යේෂණ මධ්‍යස්ථානය ඉදි කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ඇමරිකානු ඩොලර් බිලියන 20ක මූල්‍ය ආධාරයක් අඛණ්ඩව ලබා දෙනු ඇත.

තුන්වැනි හා හතරවැනි පියවර වශයෙන්, අප්‍රිකාවේ සංවර්ධනය සඳහා ද දරිද්‍රතාව තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා ද චීනය අඛණ්ඩව සහාය ලබා දෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා කියා සිටී. ඒ අතරින් අප්‍රිකානු රටවල් වෙනුවෙන් චීනය චීන යුවාන් බිලියන 360ක මූල්‍ය ආධාරයක් සපයා දෙනු ඇත.

බ්‍රසීලය, දකුණු අප්‍රිකාව හා අප්‍රිකානු ලීගය සමග එක්ව චීනය “විවෘත විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා මුලපිරීම” දියත් කිරීම පස්වැනි පියවර ය.

“ගෝලීය දකුණට”යහපත ලැබෙන ප්‍රායෝගික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීමේදී ජී-20 කණ්ඩායමට සහාය වීම, ජී-20 කණ්ඩායම “දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම” ක්‍රියාත්මක කිරීම, චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ හය සහ හත්වැනි පියවර වේ.

අටවැනි පියවර වශයෙන් චීනය සිය ඉහළ මට්ටමේ විවෘත කිරීමේ ක්‍රමය සහ යාන්ත්‍රණයන් පරිපූර්ණ කරමින් ඌන සංවර්ධිත රටවලට ඒකපාර්ශ්වික ව විවෘත කරනු ඇත.චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන ඌන සංවර්ධිත රටවල නිෂ්පාදන සඳහා ශුන්‍ය තීරුබදු සහනයක් ලබා දී තිබේ. මෙතැන් සිට වසර 2030 දක්වා, සංවර්ධනය වෙමින් පවතින රටවලින් චීනයේ සමුච්චිත ආනයනයන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.