චීනය පිළිබඳ අවතක්සේරු කිරීම අනුවණ ක්‍රියාවක් බව ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පවසයි. එමෙන්ම චීනයේ විනාශය සම්බන්ධයෙන් අනාවැකි පැවසීම පදනම් විරහිත බවත්, චීනය පාලනය කිරීමට දරන ඕනෑම ආකාරයේ උත්සහයක් ව්‍යර්ථ වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. ඒ ඊයේ(12) වොෂින්ටන් ඩීසී හි පැවති ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ(USCBC) සැමරුම් උත්සවයකදී දේශනයක් සිදු කරමිනි.
මේ වනවිට චීන ආර්ථිකය ස්ථාවර මෙන්ම උසස් මට්ටමක පවතින අතර අවදානම් වළක්වා ගැනීමේ මනා හැකියාවකින් යුක්ත බව Xie Feng මහතා කියා සිටියේය. විවිධ බාධක සහ පීඩන මධ්‍යයේ චීනය බොහෝ දුර පැමිණ තිබේ. ඉදිරියටත් කිසිදු පාර්ශ්වයකට චීනයේ ගමන නැවැත්විය නොහැකි වනු ඇති අතර අනාගතයේදීත් ගෝලීය වර්ධනයේ එන්ජිම ලෙස චීනය ක්‍රියා කරන බව ඔහු පවසා ඇත.
ආරක්ෂණවාදය ඉහළ යමින් පවතින පසුබිමක චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාවල ශක්තිමත් මෙන්ම ස්ථාවර සංවර්ධනයක් සහ ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර ව්‍යාපාර පිළිගැනීමට පුළුල් ප්‍රතිසංස්කරණ මෙන්ම උසස් ප්‍රමිතියෙන් යුත් විවෘත කිරීම් වෙත වැඩි අවධානයක් යොමු කිරීම චීනයේ අපේක්ෂාවයි. වෙළඳාමේ දී තීරුබදු අවියක් ලෙස යොදා ගැනීමට උත්සහා දැරීම ගෝලීය වෙළඳපොලෙහි හුදෙකලා වීමට සහ අවස්ථා අහිමි කර ගැනීමට හේතුවක් වනු ඇති බව ද ඔහු කියාසිටී.
එමෙන්ම චීනයේ නවෝත්පාදනය කිසිදු අයුරකින් යටපත් කළ නොහැකි අතර පදනම් විරහිතව චීනයට බාධා කිරීම ගෝලීය කාර්මික හා සැපයුම් දාමයට සැබෑ අවදානමකි. ජාතික ආරක්ෂාව මුවාවෙන් වෙනත් පාර්ශ්වයන් මර්දනය කිරීම ද අනාරක්ෂිත භාවයට හේතුවක් වන අතර දෙපාර්ශ්වය එක්ව කටයුතු කළහොත් පමණක් දෙරට ඇතුළු සමස්ත ලෝකයටම වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කළ හැකි බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.