චීනය පිළිබඳ ජාත්‍යන්තර මතය ධනාත්මක වෙමින් පවතින බව මත විමසුමකින් හෙළි වේ

ගෙවුණු වසරක කාලය තුළ, විදේශිකයන් චීනය පිළිබඳ දක්වන අදහස් ධනාත්මක වෙමින් පවතින අතර, ඇමරිකාව පිළිබඳ දක්වන අදහස් සෘණාත්මක වෙමින් පවතින බව නවතම මත විමසුමකින් හෙළි වේ.

ඇමරිකාවේ Bloomberg ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ (16) නිකුත් කළ වාර්තාවකට අනුව, ඇමරිකානු Pew පර්යේෂණ මධ්‍යස්ථානය පැවැත් වූ නවතම ජනමත විමසුමකින් මේ බව අනාවරණය විය. ඇමරිකානු ජනපති Donald Trump යළි ජනපති ධූරයට තේරී පත් වීමෙන් පසු ලොව විවිධ රටවලට ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු”පැනවීමත් සමඟ මෙම ප්‍රවණතාව දක්නට විය.  මෙය අදාළ වෙනස්කම් සිදුවීම‍ට බලපෑ එක් හේතුවක් විය හැකි බව එම වාර්තාවේ සඳහන්ව ඇත. එහෙත් චීන විශේෂඥයෙකු Global Times පුවත්පතට පවසන්නේ, චීනයේ ශක්තිය තහවුරු කිරීමත් සමග එහි ජාත්‍යන්තර ස්වරූපය හා බලපෑම ඉහළ යාම ආපසු හැරවිය නොහැකි බවයි.

ලොව රටවල් 24ක 28,000ක‍ පමණ පිරිසක් මෙම ජනමත විමසුමට සහභාගි වී තම අදහස් පළ කර තිබේ. එහිදී ඉහළ ආදායම් ලබන රටවල, චීනය පිළිබඳ ධනාත්මක අදහසක් දරන ප්‍රතිචාර දැක්වූවන්ගේ මධ්‍යස්ථ අනුපාතය සියයට 32 කි. එය ගතවූ වසර 06 තුළ ඉහළම අංගයයි. එසේම ඇමරිකාව පිළිබඳ ධනාත්මක අදහස් දරන ප්‍රතිචාර දැක්වූවන්ගේ මධ්‍යස්ථ අනුපාතය සියයට 35ක් දක්වා පහළ ගොස් තිබෙන අතර එය 2017 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ඉතා අවම අගය වේ. සමස්තයක් ලෙස විමසා බැලීමේදී, විදේශිකයන් ඇමරිකාව පිළිබඳ දරන ධනාත්මක මතය චීනයට සාපේක්ෂව තවමත් ඉහළ වූව ද එහි පරතරය අඩු වෙමින් පවතින බව මෙම ජනමත විමසුම තුළින් අනාවරණය වී ඇත. 

එසේම “ලොව අංක එකේ ආර්ථීකය හිමි රට කුමක්දැ” යි මෙම සමීක්ෂණයේදී අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් රටවල් 24කින්, අඩකම ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුර වූයේ චීනය බවයි. එහිදී රටවල් 08ක ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුර වූයේ ඇමරිකාවයි. මීට අමතරව දෙරටම සමාන තත්ත්වයක පවතින බවට ද රටවල් 04ක ප්‍රතිචාර දක්වූවන් අදහස් පළ කර තිබිණ.  

කෙසේවෙතත්, ඇමරිකාව ලොව බලවත් රටක් වුවද, එරටින් ඇති කෙරෙන සෘණාත්මක බලපෑම් උග්‍ර වෙමින් පැවතීම රටවල් රැසක ජනතාව අවබෝධ කරගෙන ඇති බව මෙම මත විමසුමෙන් හෙළිව ඇත. විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ කඳවුරු කරමින් ගැටුම් උග්‍ර කිරීම හෝ ආර්ථීක ක්ෂේතයේ තීරුබදු යුද්ධ ඇති කරමින් ආර්ථීක ජාතිකවාදය ව්‍යාප්ත කිරීම යන ක්‍රියාවන් හේතුවෙන් ඇමරිකාව ලෝකයේ බොහෝ රටවල් වෙත, වඩා වැඩි අවිනිශ්චිතතාවයක් හා ආරක්ෂක කණස්සල්ලක් එක් කර ඇති බව ද චීන විශේෂඥයෙකු පැවසීය.