චීනය සහ ද්විපාර්ශ්වික සබඳතා දෙස නිවැරදිව බැලීමේ අවශ්‍යතාව චීනය ඇමරිකාවට අවධාරණය කරයි

චීනය සහ ද්විපාර්ශ්වික සබඳතා දෙස නිවැරදි ආකාරයෙන් බැලීමටත්, හුවමාරු සහ සහයෝගීතාවයට ක්‍රියාකාරීව පහසුකම් සැලසීමටත් පියවර ගැනීමේ අවශ්‍යතාව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඇමරිකාව වෙත අවධාරණය කරයි.

මෙම ක්‍රියාවලිය තුළින් චීන-ඇමරිකානු මිත්‍රත්වය සහ පොදු සංවර්ධනය පෝෂණය කිරීමේදී ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස හෙතෙම එක්සත් ජනපද කොංග්‍රසයෙන් ඉල්ලා ඇත.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ (21) බෙයිජිංහිදී එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිතයින් පිරිසක් හමු වූ අවස්ථාවේ දී මේ අදහස් පළ කර තිබේ.

චීනය සහ ඇමරිකාව සැලකිය යුතු ගෝලීය බලපෑමක් ඇති ප්‍රධාන රටවල් වන බැවින්, ද්විපාර්ශ්වික සබඳතාවන් හි ස්ථාවර, ශක්තිමත් සහ තිරසාර සංවර්ධනයක් පවත්වා ගැනීම දෙපාර්ශ්වයේම පොදු අවශ්‍යතා සඳහා වැදගත් වනවා සේම ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන් ද සපුරාලන බව ඔහු මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දෙමින් චීනය සහ ඇමරිකාව සංවාද සහ සහයෝගීතා වැඩිදියුණු කළ යුතු බවට දෙරටේ ජනපතිවරුන් මේ වසරේ එක් වූ දුරකථන සාකච්ඡාවන්හිදී එකඟතාවයකට පැමිණ ඇති බවත් Li Qiang මහතා පැවසීය.

චීනය, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවය දිනා ගැනීම සඳහා ඇමරිකාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින අතර, දෙරටට මෙන්ම සමස්ත ලෝකයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි මාවතකට ගෙන යාම සඳහා ඇමරිකාව චීනය සමඟ එක් දිශානතියක් ඔස්සේ ක්‍රියා කරනු ඇතැයි ද ඔහු මෙහිදී බලාපොරොත්තු පළ කළේය.

තවද, චීනය සහ ඇමරිකාව පොදු සංවර්ධනය සඳහා හවුල්කරුවන් විය යුතු බවත්, එකිනෙකා වෙත අවංකව සලකමින් එකිනෙකා බලගන්වමින්, අන්‍යෝන්‍ය සාර්ථකත්වය අත්කර ගත යුතු බවත් චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳ ජීව ගුණයකින් යුත් සන්නිවේදනය තුළින් එකිනෙකාගේ ගැටළු විසඳීමට චීනය ඇමරිකාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.