චීන අගමැතිගේ ප්‍රධානත්වයෙන් 8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) ඇරඹෙයි

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සංසදය අද(5) චීනයේ ෂංහයි නගරයේදී ආරම්භ විය. එහි සමාරම්භක උත්සවයට එක්වූ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා වැදගත් දේශනයක් ද සිදු කළේය. 

මේ වසරේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගී වන ව්‍යවසායන්ගේ සංඛ්‍යාව නව වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. චීනය සතු සුපිරි විශාල වෙළඳපොළෙහි ශක්තිය ඉන් මනා ලෙස පිළිබිඹු වූ බවද ලී ච්‍යං මහතා එහිදී ප්‍රකාශ කළේය. 

ජාත්‍යන්තර ආර්ථික වෙළඳ කටයුතුවලදී  දැරිය යුතු චින්තනමය වටිනාකම් පිළිබඳව සඳහන් කිරීමේදී හෙතෙම අදහස් තුනක් ඉදිරිපත් කර ඇත. පළමුවැන්න ලෙස, සාධාරණ මෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් නිත්‍යානුකූල පොදු අවශ්‍යතාවන් හි පදනම තහවුරු කළ යුතුය. දෙවැන්න, සැමවිටම සදාචාරය අනුගමනය කරමින් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය සැබැවින්ම ආරක්ෂා කළ යුතුය යන්නයි. තෙවැන්න, පාලන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති පද්ධතිය සම්පූර්ණ කිරීමය. එමෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව චීනය ගෝලීය පාලන මුලපිරුම සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරමින් ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ප්‍රතිසංස්කරණය හා සම්පූර්ණ කිරීමේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම මෙහිදී පැවසීය. 

ඊට අමතරව, පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයේදී  15 වන පස් අවුරුදු සැලැස්ම අනුමත කෙරිණ. එය ඉදිරි කාලය තුළ චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට වඩාත් වැඩි නිශ්චිතභාවයක් ලබා දෙනු ඇත. නවීකරණය උදෙසා ඉදිරියට ගමන් කරන චීනය, ලෝකයට ද වඩාත් වැඩි නිශ්චිතභාවයක් සහ ධනාත්මක ශක්තියක් ලබා දෙනු ඇතැයිද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා වැඩිදුරටත් පවසා ඇත.