චීන අගමැතිවරයා ASEAN-චීන-GCC සමුළුවට එක් වෙයි

මැලේසියාවේ Kuala Lumpur හි පැවති ASEAN(අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය)-චීන-GCC(ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය) සමුළුවට චීන අගමැති ලී ච්‍යං මහතා ඊයේ (27) සවස එක් විය.

මෙම වසරේ ASEAN හි සභාපතිත්වය දරන මැලේසියාවේ අගමැති Anwar Ibrahim මහතා, GCC හි සභාපතිත්වය දරන කුවේට් හි ඔටුන්න හිමි Sheikh Sabah Al-Khaled Al-Hamad Al-Sabah කුමරු සහ එම සංවිධාන දෙ‍කේ රාජ්‍යන්හි නායකයෝ ද එම අවස්ථාවට එක් වූහ.

ASEAN-චීන-GCC සබඳතාව ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ලී ච්‍යං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. ත්‍රෛපාර්ශ්වය අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීමට සැලසුම් සකස් කර, යටිතල පහසුකම් හා වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධිකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව ඔහු කීය. බලශක්තිය, කෘෂිකර්මාන්තය, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ හරිතකරණය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කරමින් පිරිස් හුවමාරුව මෙන්ම සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමට චීනය එම සංවිධාන දෙක සමඟ උත්සාහ කරනු ඇතැයි ඔහු පැවසීය.

ASEAN සහ GCC රාජ්‍යවලට, වඩා පහසු වීසා ප්‍රතිපත්ති සැපයීමට චීනය කැමැත්තෙන් පසු වන බව ලී ච්‍යං මහතා කීය. එක්සත් ජාතීන් ඇතුළු බහුපාර්ශ්වික රාමු තුළ සන්නිවේදනය ශක්තිමත් කර සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා එක්ව ආරක්ෂා කළ යුතු බව ලී ච්‍යං මහතා අවධාරණය කළේය. අධිපතිවාදයට සහ බල දේශපාලනයට දැඩි ලෙස විරුද්ධ වෙමින් ගෝලීය පාලනය වඩාත් සාධාරණ දිශාවකට ප්‍රවර්ධනය කිරීමට ඒකාබද්ධව කැප විය යුතු බව ද ඔහු කීය.

ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවයේ අරුත තවදුරටත් පොහොසත් කර වත්මන් යුගයේ ගෝලීය සහයෝගිතාවේ ආදර්ශනයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්වයන් උත්සාහ කළ යුතු බව ද ලී ච්‍යං මහතා එහිදී අවධාරණය කර ඇත.