“චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක පර්යේෂණ සහ භාවිත ප්‍රගති වාර්තාව” නිකුත් කෙරේ

“චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක පර්යේෂණ සහ භාවිත ප්‍රගති වාර්තාව” ප්‍රථම වරට නිකුත් කෙරේ.

ගෙවී ගිය වසර දෙක තුළ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ හා භාවිතවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද(30) නිකුත් කෙරුණු එම වාර්තාවෙන් සම්පිණ්ඩනය කර ඇත.

 චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලයට අනුව, වසර 2024 දෙසැම්බර් මස 1 දා වන විට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය කක්ෂයේ සිට විද්‍යාත්මක සහ භාවිත ව්‍යාපෘති 181ක් ක්‍රියාත්මක කර ඇත. විද්‍යාත්මක ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් උඩුගුවනට රැගෙන ගොස් ඇති අතර පර්යේෂණාත්මක සාම්පල වර්ග 100කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යවකාශයෙන් පෘථිවියට රැගෙන තිබේ. එම කාලය තුළ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් 4ක්, භාණ්ඩ සැපයුම් 3ක්, අභ්‍යවකාශ යානා ආපසු පැමිණීමේ මෙහෙයුම් 4ක් සම්පූර්ණ කෙරිණ. එ‍මෙන්ම කණ්ඩායම් පහකට අයත් ගගනගාමීන් පිරිසක් දිගු කාලීනව කක්ෂයේ මෙහෙයුම්වල නිරත වූ අතර මොඩියුලයෙන් පිටත මෙහෙයුම් 10ක් ද ඔවුන් සාර්ථකව සිදු කර ඇත. 

අදාළ වාර්තාවට අනුව, ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පර්යේෂණ ව්‍යාපෘති දහසකට වඩා  ආරම්භ කිරීමට සූදානම් වී තිබේ. එමගින් රටේ අභ්‍යවකාශ විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය සහ අභ්‍යවකාශ භාවිතයන්හි විස්තීරණ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් විද්‍යා තාක්ෂණික අංශයෙන් ලොව බලවත් රටක් වීමට මෙන්ම  අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දැවැන්ත උත්සාහයක් ගන්නා රටක් ගොඩනගා ගැනීමට වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර ඇත.