චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා හමු වෙයි. අස්ටානා හිදී දෙවැනි චීන-මධ්‍යම ආසියානු සමුළුවට සහභාගි වීමට පෙර අද (17) පෙරවරුවේ මෙම හමුව සිදු විය.
චීනය හා කිර්ගිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවී ගිය වසර 33ක් තුළ දෙරට සබඳතා කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. පසුගිය පෙබරවාරි මස තමා සහ Sadyr Japarov ජනාධිපතිවරයා බෙයිජිං හි සාකච්ඡා පවත්වා එකඟතාවන් රැසකට එළඹ ඇත. දෙරට අතර වෙළඳ හා ආයෝජන වපසරිය, මූල්‍ය සහයෝගිතා, සම්බන්ධතා පැවැත්වීම පුළුල් කරමින් චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉහළ මට්ටමක් දක්වා ගෙන යාම සහතික කළ යුතු යැයි හෙතෙම කියා සිටී. එමෙන් ම, පිරිසිදු බලශක්තිය, හරිත පතල් කර්මාන්තය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව ක්ෂේත්‍රයන්හි සහයෝගිතා ශක්තිමත් කළ යුතු බවත් කිර්ගිස්ථානය සමග එක්ව ෂැංහයි සහයෝගිතා සංවිධානය වඩාත් ඉහළ සංවර්ධනයක් අත්කර ගැනීම තහවුරු කිරීමට චීනය සූදානම් බවත් ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කර තිබේ.
චීනය පිළිබඳ සම්බන්ධතා සඳහා කිර්ගිස්ථානය ඉහළ වැදගත්කමක් ලබා දෙන බව Sadyr Japarov මහතා එම හමුවේ දී පැවසීය. එකම චීනය යන මූලධර්මයට දැඩි ලෙස අනුගත වන කිර්ගිස්ථානය ඕනෑ ම ආකාරයේ ‘තායිවාන ස්වාධීනත්වය’ටත් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමටත් විරුද්ධ වෙයි. ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ‘ගෝලීය මුලපිරුම් තුන’ට කිර්ගිස්ථානය ඉහළ සහායක් දක්වයි. චීනය සමග එක්ව, ෂැංහයි සහයෝගිතා සංවිධානය, චීන-මධ්‍යම ආසියා යාන්ත්‍රණය තුළ පුළුල් සහයෝගිතා පැවැත්වීමට තම රට සූදානම් බව ද කිර්ගිස්ථාන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
අනතුරුව, කෘෂිකර්මාන්තය, රේගුව, විද්‍යා හා තාක්ෂණ, මාධ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් සඳහා වන ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම්වලට අත්සත් තැබීම ද නායක දෙපළ ඉදිරියේ සිදු කෙරිණ.