චීනය නිසැකවම ගෝලීය ගණිත විද්‍යාවන්හි අනාගතය බව ෆීල්ඩ්ස් පදක්කම්ලාභී සහ චීන විද්‍යා ඇකඩමියේ විදේශීය ශාස්ත්‍රඥ Andrei Okounkov මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
චීනය විද්‍යාත්මක හා තාක්ෂණික යෙදීම් සහ මූලික පර්යේෂණ ක්ෂේත්‍ර රැසක සැලකිය යුතු ප්‍රගතියක් සහ ජයග්‍රහණ ලබා ඇත. මෙයට එක් වැදගත් හේතුවක් වන්නේ චීන ජනතාව සාමාන්‍යයෙන් “අධ්‍යාපනයට” විශාල වැදගත්කමක් ලබා දීම බව Andrei Okounkov මහතා එහිදී පැවසීය.
චීන ජනතාව අධ්‍යාපනය ලබනවා පමණක් නොව, අධ්‍යාපනය තුළින් ලබා ගන්නා වූ එම දැනුම සමඟින් උගත් දේ ක්‍රියාවෙන් පෙන්වීමට තරම් තීක්ෂණ බුද්ධියකින් සමන්විතය. මෙම විශේෂත්වය වසර දහස් ගණනක් පුරා චීන සංස්කෘතිය තුළ මුල් බැස ගෙන ඇත. වර්තමානයේ චීන ජනතාව, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණ ද, අධ්‍යාපනය ලැබීම සහ තීක්ෂණ බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීම යන දෙකම අවධාරණය කිරීමේ සම්ප්‍රදාය වෙනස් නොවන බව Andrei මහතා කියා සිටී.
තමන් උගත් දැනුම් සම්භාරය භාවිතයෙන් වඩාත් යහපත් දේ නිර්මාණය කිරීමටත් නව න්‍යායන් යෝජනා කිරීමට සහ නිරන්තරව නවෝත්පාදන කරමින් ප්‍රායෝගිකව නව ප්‍රතිඵල ලබා ගැනීමටත් චීන ජනතාව බලාපොරොත්තු වෙයි. මෙම ක්‍රමවේදය ලොව සෙසු රටවලට ද චීනයෙන් ලබා ගත හැකි ආදර්ශයක් බව ඔහු සඳහන් කළේය.
චීනයේ දීර්ඝ ඉතිහාසය සහ දිප්තිමත් සංස්කෘතික සම්ප්‍රදායන් අගය කරමින් Andrei මහතා විශ්වාස කරනුයේ, අනාගතයේ දී චීනය ගණිතය සඳහා ‘සාරවත් භූමියක්’ බවට පත්වනු ඇති බවයි. එබැවින් ගණිතය ඉගෙන ගැනීමට හෝ ගණිතය ආශ්‍රිත පර්යේෂණවල යෙදීමට හෝ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී ගණිතය අදාළ කර ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමට තමා සෑම විට ම කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.
චීනයේ දී ගණිත විද්‍යාවට දීප්තිමත් අනාගතයක් ඇති බව තමා තරයේ විශ්වාස කරන අතර, චීනය ගණිතයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත්වන ලකුණු පෙන්නුම් කෙරෙන නිදසුන් බොහොමයක් වර්තමානයේ දක්නට ඇති බවත් Andrei Okounkov වැඩිදුරටත් පැවසීය.