චීන ජනපති ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80වන සංවත්සර උත්සවය අමතයි

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන අනුස්මරණ උත්සවයක් අද(3) චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්ඇන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් පැවැත්වීය.

අද මේ අවස්ථාවේදී ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහිපත් කර සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ යුතු බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයට සහභාගී වූ ප්‍රවීණයන්, ප්‍රවීණ සහෝදරවරුන්, දේශප්‍රේමීන්, ප්‍රවීණ සොල්දාදුවන් සහ එම යුද්ධයේ ජයග්‍රහණය සඳහා මනා දායකත්වයක් ලබා දුන් දෙස් විදෙස් චීන ජනතාව වෙත ෂී ජින් පිං මහතා ඉහළම ගෞරවය පුද කළේය.

එවක චීන ජනතාවට සහාය දුන් විදේශීය රජයන්ට සහ ජාත්‍යන්තර මිතුරන්ට ද චීන ජනාධිපතිවරයා හෘදයාංගම කෘතඥතාව පළ කළේය. අද අනුස්මරණ උත්සවයට එක්ව සිටින සම්භාවනීය අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම පැවසීය.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය, ශ්‍රේෂ්ඨ මෙන්ම දුෂ්කර යුද්ධයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් ජපාන ආක්‍රමණයට එරෙහි චීන එක්සත් පෙරමුණ යන ධජය යටතේ, නොසැලෙන අධිෂ්ඨානයෙන් බලවත් සතුරෙකුට එරෙහිව සටන් කළ චීන ජනතාව, ඔවුන්ගේ ලේ මස් තුළින් මහා ප්‍රාකාරය ගොඩනඟා නූතන යුගයේ විදේශීය ආක්‍රමණයට එරෙහිව පළමු සම්පූර්ණ ජයග්‍රහණය අත්කර ගත්හ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ වැදගත් සංධිස්ථානයකි. චීන ජනතාව මහා ජාතික පරිත්‍යාගයන් තුළින් මානව ශිෂ්ටාචාරය සුරකිමින් ලෝක සාමය ආරක්ෂා කිරීමට සුවිශේෂී  දායකත්වයක් ලබා දුන්හ. චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා අද බෙයිජිංහි පැවති අනුස්මරණ උත්සවයේදී ය.

ඉතිහාසය කියා දී ඇත්තේ, මානව වර්ගයාට ඇත්තේ එකම ඉරණමක් පමණක් බවයි. විවිධ ජාතීන්, එකිනෙකාට සමානව සලකමින් සමගි සම්පන්නව ආරක්ෂාව තහවුරු කළ යුතු යැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. යුධ විපත් නැවත සිදුවීම වැළැක් විය හැකි එකම ක්‍රමය එයයි.

කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන චීන ජාතිය, ස්වශක්තියෙන් නැගී සිටින ශ්‍රේෂ්ඨ ජාතියක් බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. යුද්ධය පැවති සමයේ, යුක්තිය සහ නපුර, ආලෝකය සහ අන්ධකාරය, ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී බව අතර අරගලයට මුහුණ දුන් චීන ජනතාව වෛරයට එරෙහිව එක්සත් වී ජාතික පැවැත්ම, ජාතික පුනර්ජීවනය සහ මානව යුක්තිය සඳහා සටන් වැද තිබේ.

අද ලෝකය, සාමය හෝ යුද්ධය, සංවාදය හෝ ගැටුම, පොදු ජයග්‍රහණය හෝ ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩාව අතර තේරීමකට නැවතත් මුහුණ දෙන බව හෙතෙම පැවසීය. ඉතිහාසයේ නිවැරදි පැත්ත උදෙසා මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතියේ ස්ථිරව රැඳී සිටිමින් සාමකාමී සංවර්ධන මාවතට අනුගත වන අතර සියලු රටවල ජනතාව සමඟ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට චීන ජනතාව ක්‍රියා කරමින් සිටී.

චීන මහජන විමුක්ති හමුදාව, සැමවිටම චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම චීන ජනතාවට සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැකි වීරෝදාර හමුදාවක් බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සඳහන් කළේය. හමුදාවේ සියලුම නිලධාරීන් සහ භටයන් තම වගකීම් පක්ෂපාතීව ඉටු කළ යුතු අතර ලෝක ප්‍රමුඛ මට්ටමේ හමුදාවක් ලෙසට ගොඩනැගීම කඩිනම් කළ යුතුය. ජාතික ස්වාධිපත්‍යය, එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කරමින් චීන ජාතික පුනර්ජීවනය සඳහා උපායමාර්ගික සහාය ලබා දිය යුතු අතර ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් චීන මහජන විමුක්ති හමුදාව වඩාත් වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.