චීන – මධ්‍යම ආසියානු විදේශ ඇමතිවරුන්ගේ 6 වන රැස්වීම 26 වන දා කසක්ස්තානයේ Alma-Ata හිදී පැවැත්විණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, කසක්ස්තාන උප අග්‍රාමාත්‍ය, විදේශ ඇමති Murat Nurtleu මහතා, කිර්කිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය යන රටවල විදේශ ඇමතිවරුන්, ටර්ක්මෙනිස්තාන නියෝජිතයකු මෙන් ම චීන – මධ්‍යම ආසියා යාන්ත්‍රණයේ මහලේකම්වරයාගේ සම සහභාගීත්වයෙන් එම රැස්වීම පැවැත්විණ. එහිදී මෙම වසරේ පැවැත්වීමට නියමිත චීන – මධ්‍යම ආසියා දෙවන සමුළුව සඳහා දේශපාලනික වශයෙන් අවශ්‍ය සූදානම පිළිබඳ අවධානය යොමු කර ඇත. එමෙන්ම චීන – මධ්‍යම ආසියා සහයෝගිතාව තහවුරු කිරීම සඳහා පුළුල් අදහස් හුවමාරුවක් ද එහිදී සිදු විය.
ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික ඒකකය හා වගකීම් සහගත බලවත් රටක් ලෙස, ජාත්‍යන්තර වටපිටාව කෙසේ වෙනස් වුවද අසල්වැසි රටවල් හා එක්ව සංවර්ධනය පොදුවේ සාක්ෂාත් කර ගැනීමටත්, ලෝකය සමග අවස්ථා බෙදා ගැනීමටත් චීනය සූදානම් බව චීන විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කළේය. චීන – මධ්‍යම ආසියා සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා හෙතෙම යෝජනා පහක් ඉදිරිපත් කළේය. මේ අනුව, විශ්වාසනීයත්වයෙන් යුතුව අසල්වැසි රටවල් සමග සුහදශීලී සබඳතා ගොඩනැංවිය යුතු ය. එකිනෙකාට ප්‍රතිලාභ සැලසෙන පරිදි සහයෝගිතා පවත්වා අවශ්‍ය යාන්ත්‍රණ තහවුරු කළ යුතු ව ඇත. එසේ ම, සාධාරණත්වය හා යුක්තියේ එල්බ සිටිමින් පාරම්පාරික මිතුදම තවදුරටත් උරුම කර දිය යුතු බව ද චීන විදේශ ඇමතිවරයා එහිදී යෝජනා කර ඇත.
තව ද, රැස්වීමට එක්වූ විදේශ ඇමතිවරු චීන – මධ්‍යම ආසියා යාන්ත්‍රණයේ වැදගත්කම් ඉහළින් පැසසුමට ලක් කළහ. චීනය ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත අසල්වැසි රටවල් අතර පොදු ප්‍රජාවක් ගොඩනැංවීමේ සංකල්පයට ද එහිදී සහාය හිමි වෙයි. තම රටේ උපායමාර්ගයන් ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමට සම්බන්ධ වීම තහවුරු කිරීමට මධ්‍යම ආසියානු රටවල් සූදානම් බව ද එහි දී සඳහන් කෙරිණ.
