චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවෙන් ආර්ථිකය පිළිබඳ ධනාත්මක සංඥා

ඉකුත් 11 සහ 12 යන දෙදින බෙයිජිං නුවර පැවති චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවෙන් ධනාත්මක සංඥා නිකුත් වී ඇතැයි විචාරකයෝ පවසති. කැළඹිලි සහගත ලොවක් හමුවේ චීනය නොසැලෙන රිද්මයෙන් සිය ආර්ථිකය ඉදිරියට වර්ධනය කරමින් එළඹෙන 2025 වසරේ තමන්ටත් ලෝකයටත් සංවර්ධන අවස්ථා රැගෙන යාමේ සලකුණක් චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවෙන් පහළ වී තිබේ.

      මේ වන විට 2024 වසරේ චීනයේ ප්‍රධාන ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක මූලික වශයෙන් සපුරාගෙන රටේ සංවර්ධනය විශිෂ්ට අන්දමින් සිදු කර තිබේ. එළඹෙන 2025 වසරේ රජය වඩාත් සක්‍රිය මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර මූල්‍ය ප්‍රතිපත්තිය නිසි අයුරින් ලිහිල් කරන බව චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවේදී ප්‍රකාශ කෙරිණ. චීනය“මූල්‍ය ප්‍රතිපත්තිය නිසි අයුරින් ලිහිල් කිරීම”ප්‍රථමයෙන් ක්‍රියාත්මක කළේ මීට වසර 10කට පෙර ය. එළඹෙන වසරේ එම පිළිවෙත යළි ක්‍රියාත්මක කිරීම, දෙස් විදෙස් විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ.එවන් මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති චීන ආර්ථිකය වඩාත් සුමට ලෙස ප්‍රකෘතිමත් වීමට ඉවහල් වනු ඇතැයි විචාරකයෝ පවසති. 

       “නව ගුණාත්මක ඵලදායීතාව”2025වසරේ චීනයේ ප්‍රධාන ආර්ථික කාර්යයන්හි වැදගත් අංගයකි. විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය මගින් නව ගුණාත්මක ඵලදායීතාව ඉදිරියට ගෙන යමින් නවීන කර්මාන්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට චීනය අපේක්ෂා කරයි. දැනට චීනයේ නව ගුණාත්මක ඵලදායීතාව වේගවත්ව ගොඩ නැගෙමින් පවතින බව අදාළ සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරේ. බොහෝ විදෙස් ව්‍යවසායන් චීනයේ ස්ථාපිත කළ පර්යේෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථාන චීනයේ නවෝත්පාදන තොටිල්ලි බවට පත්ව තිබේ.

       එළඹෙන 2025 වසරේ චීනය බාහිර ලෝකයට විවෘත වීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බව චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවෙන් තහවුරු විය. ඒ අනුව චීනය විදුලි සන්දේශ, ‍සෞඛ්‍ය හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර විදේශයන් කෙරේ වඩාත් විවෘත කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ අනෙකුත් රටවල් සමග සහයෝගිතා පවත්වනු ඇත. ජර්මනියේ Zeiss සමාගමේ චීන ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසූ පරිදි , චීනය‍ ලොව ප්‍රබලතම ධනයේ නිර්මාපකයා බවට පත් වනු ඇත. මෙවන් දැවැන්ත හා ජවසම්පන්න වෙළඳ පොලක් නොසලකා හැරිය නොහැකි බව ඔහු පෙන්වා දී තිබේ.