චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ 50 වෙනි සංවත්සරය ‍කොළඹ දී සැමරේ

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ 50වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරුණු දීප ව්‍යාප්ත සමරු කාසි ගැ‍ෆික් නිර්මාණ තරගයේ ජයග්‍රහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම කොළඹ දී පැවැත්වේ.මාසයකට අධික කාලයක් පුරා පැවැති තරගයට නිර්මාණ රැසක් ලැබුණු අතර විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් හොඳම නිර්මාණය ත්‍රිත්වය තෝරා ගන්නා ලදි. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පිරිනැමූ සුබ පැතුම් ද එම උත්සව‍යේ දී ඉදිරිපත් කෙරිණ.දෙරට අතර කාලීන හා දේශපාලන තොරතුරු සන්නිවේදනය‍ මෙන්ම තරුණ හා සංස්කෘතික වැඩස‍‍ටහන් තුළින් චීන මාධ්‍ය සමූහ‍යේ සිංහල සේවය ඉටු කරන කාර්යභාරය අගය කරන බව ඇය සිය සුබ පැතුමෙන් සඳහන් කළාය.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ද සහයෝගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසට තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ චීනයේ තොරතුරු ශ්‍රී ලංකාවට සමීප කරමින් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය ඉටු කරන මාධ්‍ය මෙහෙවර ප්‍රශංසනීය බවයි. සිංහල භාෂාව තම රට තුළ උගන්වන භාෂාවක් ලෙසට පත් කර ගැනීමට චීන රජය කටයුතු කර තිබීම ශ්‍රී ලංකිකයන් ලෙසට ආඩම්බරයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. නව මාධ්‍ය කලාවකට රට පෙලගස්වන්නේ කෙසේ ද යන්න ඉදිරියේ දී තරුණ පරම්පරාවද සම්බන්ධ කර ගනිමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කීය.

සමරු කාසි ගැ‍ෆික් නිර්මාණ තරගයේ හොඳම නිර්මාණය දිනාගැනීමට එන්. නවීන් බුද්ධික නානායක්කාර සමත්විය. මෙම අවස්ථාවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.සුනිල්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, ප්‍රවීණ මූර්ති නිර්මාණ ශිල්පී අනුර දහනායක, ප්‍රවීණ නිල ලාංඡන නිර්මාණකරු ජගත් ජයසිංහ සහ නිර්මාණවේදී දිලන්ත ජයසේකර ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.