චීන-මොරිටේනියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනපතිවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති

චීනය හා මොරිටේනියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ මොරිටේනියානු ජනාධිපති Mohamed Ould Cheikh El Ghazouani මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.  

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන-මොරිටේනියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගත වූ වසර 60 තුළ, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, දෙපාර්ශ්වය සැමවිටම එකිනෙකාට ගරු කරමින් එකිනෙකාට සමාන ලෙස සලකන බවයි. එමෙන්ම මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගය සහ අන්‍යෝන්‍ය යහපත් ආදර්ශයක් සපයා ඇති බවත් චීන-මොරිටේනියානු සබඳතා වර්ධනයට තමා ඉහළින් අවාධානය යොමු කරන බවත් චීන ජනපති සිය සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා තිබේ. මෙම 60 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකා, Ghazouani ජනාධිපතිවරයා සමඟ, චීන-මොරිටේනියානු උපායමාර්ගික හවුල්කාරිත්වයේ සංවර්ධනය සඳහා නව අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට මෙන්ම, දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීමට ද, කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය වසර 60 තුළ මොරිටේනියාව සහ චීනය ශක්තිමත් මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන ඇතැයි, Ghazouani මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ බෙයිජිං සමුළුවේදී, ද්විපාර්ශ්වික සබඳතාව උපායමාර්ගික හවුල්කාරිත්ව මට්ටමට උසස් කරන බව, තමා හා ෂී ජින් පිං මහතා එක්ව ප්‍රකාශ කර ඇති බව, මොරිටේනියානු ජනපතිවරයා එහිදී සඳහන් කළේ ය. මෙය දෙරටේ මිත්‍රශීලී ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අතර, සියලු රටවල ජනතාවගේ ආරක්ෂාව, සමෘද්ධිය සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට ද උපකාරී වනු ඇති බව, Ghazouani මහතා අවධාරණය කර ඇත.