චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ලාඕස ජනාධිපති, ලාඕස මහජන විප්ලවීය පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Thongloun Sisoulith මහතා සමඟ අද (05) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සාකච්ඡා සඳහා එක් විය. රාජ්‍ය සංචාරයක් සඳහා Thongloun Sisoulith මහතා චීනයට පැමිණ සිටින අතරවාරයේ මෙය පැවැත්විණ.
ෂී ජින් පිං මහතා එහිදී ලාඕස මහජන විප්ලවීය පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ ලාඕස ජනපතිවරයා ලෙස යළි තේරී පත් වූ Thongloun මහතා වෙත නැවත සුබ පැතුම් පිරිනමා ඇත. දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ප්‍රවර්ධනය කොට අන්‍යෝන්‍ය වාසිසහගත සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ලාඕසය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමෙන්ම නව යුගයේ සර්වකාලීන පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාව ගොඩනැගීම සඳහා එක්ව අත්වැල් බැඳ ගැනීමට චීනය සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
චීන-ලාඕස සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සහ පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාව ගොඩනැගීම ඉහළ ප්‍රමිතීන්ගෙන් යුතුව, උසස් තත්ත්වයකින් ඉහළ මට්ටම් කරා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කරුණු හතරක් ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී ඉදිරිපත් කළේය. දෙරට අතර සබඳතා සමාජවාදී දිශාවට අනුගතව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායී සහයෝගීතාවයක් සඳහා ශක්තිමත් පදනමක් සැකසිය යුතු බව හෙතෙම එහිදී සඳහන් කළේය. එමෙන්ම ජනතාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරමින් විදේශ ප්‍රතිපත්තියේ සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බවට ද චීන ජනාධිපතිවරයා එහිදී යෝජනා කළේය.
ලාඕස මහජන විප්ලවීය පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා සහ ලාඕස ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්වීමෙන් පසු මෙය තම පළමු නිල විදේශ සංචාරය බව Thongloun Sisoulith මහතා එහිදී ප්‍රකාශ කළේය. ලාඕසය සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 65 වන සංවත්සරය සහ “ලාඕස-චීන මිත්‍රත්ව වර්ෂය” සමග සමපාත වන මෙම සංචාරය ඉතා වැදගත් බව ඔහු පැවසීය. චීන කොම්යුනිස්ට් පක්ෂය, චීන රජය සහ චීන ජනතාව ලාඕසය වෙත ලබා දෙන ගැඹුරු මිත්‍රත්වය සහ වටිනා සහයෝගය ලාඕසය අවංකවම අගය කරන බව ඔහු මෙහිදී අවධාරණය කළේය. චීනය ලබා ඇති සංවර්ධනය, ලාඕසය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට වටිනා අත්දැකීම් රැසක් ලබා දී ඇති බව Thongloun Sisoulith මහතා පැවසීය. එමෙන්ම ලාඕසය සැමවිටම එකම චීනය යන මූලධර්මයට තදින් අනුගත වන බවත්, ෂී ජින් පිං මහතා යෝජනා කළ ගෝලීය මුලපිරීම් මාලාවට සහාය දක්වන බවත් ඔහු පැවසීය. දේශපාලනමය වශයෙන් ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැගීමට සහ නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන ලාඕස-චීන ප්‍රජාවක් ගොඩනැගීම ඉහළ මට්ටමක් දක්වා ප්‍රවර්ධනය කිරීමට චීනය සමග කටයුතු කිරීමට ලාඕසය කැමැත්තෙන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව, චීන-ලාඕස නායක දෙපළ ඉදිරියේ, පක්ෂ සම්බන්ධතා, ජන ජීවිතය, මූල්‍ය, රේගු, ආර්ථික හා වෙළඳ, මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම් රැසකට අත්සන් තැබිණ.
මේ අතර, අද රාත්‍රියේ, ෂී ජින්පිං මහතා සහ ආර්යා Peng Liyuan මහත්මිය මහජන මහා ශාලාවේ දී Thongloun Sisoulith මහතා සහ එම ආර්යාව වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් ද පැවැත්වූහ.
