චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනපතිගේ ප්‍රධාන උපදේශක අතර හමුවක්

චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Wang Yi මහතා සහ බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක Celso Amorim මහතා අතර හමුවක් සිදුව තිබේ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවති උත්සවයට එක් වීම සඳහා Amorim මහතා චීනයට පැමිණ සිටින අතරතුර මෙම හමුව සිදුව ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ Wang Yi මහතා මෙහිදී පැවසුවේ චීනය සහ බ්‍රසීලය නිසැකවම බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීමත් ජාත්‍යන්තර නීති රීති ආරක්ෂා කිරීමත් කළ යුතු බව ය.

එමෙන්ම බ්‍රික්ස් සංවිධානයේ ධනාත්මක ශක්තිය තහවුරු කරමින් එහි සාමාජික රටවල් අතර සන්නිවේදනය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා චීනය බ්‍රසීලය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් Celso Amorim මහතා පෙන්වා දී ඇත්තේ, වර්තමානයේ ඇතැම් රටවල් ජාත්‍යන්තර නීති නොසලකා හරිමින්, තීරුබදු අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය අඩපණ කර ඇති බව ය.

එබැවින් ගෝලීය දකුණේ රාජ්‍යයන් සහ බ්‍රික්ස් රටවල් අතර ශක්තිමත් සහයෝගීතාවයක අවශ්‍යතාව වඩාත් වැදගත් වී ඇති බව හෙතෙම අවධාරණය කළේ ය.

මෙම සන්දර්භය තුළ, ගෝලීය පාලන මුලපිරීම පිළිබඳ චීනයේ යෝජනාව ඉතා වැදගත් බව පැවසූ ඔහු, ජාත්‍යන්තර කටයුතුවලදී චීනය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බව පැවසීය.