චීන විදේශ ඇමතිවරයා බ්‍රිතාන්‍ය හිටපු අගමැති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මහතා හමුවෙයි. එම හමුව ඊයේ(23) බෙයිජිං නගරයේ දී සිදුවිය.

අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කරගත් දිගු කාලීන චීන ප්‍රතිපත්තියක් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ කැපවීම කෙරෙහි චීනය ප්‍රසාදය පළ කරන බවද චීන විදේශ ඇමතිවරයා පැවසීය. විවිධ අංශවල හුවමාරු වර්ධනය, අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සහ දෙරට සබඳතාවන්හි ස්ථාවර සංවර්ධනයක් වෙනුවෙන් දෙරටේ නායකයන් එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍ය සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බවද වන්ග් යී මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ටෝනි බ්ලෙයාර් මහතා චීනය හුදෙකලා කිරීමට ගන්නා උත්සාහයන් අසාර්ථක වී ඇති අතර ලෝකය මනා ලෙස චීනය අවබෝධ කර ගත යුතු යැයි ද පැවසීය. දෙපාර්ශ්වය රජ‍ය මට්ටමේ සහ සමාජ අංශවල සංවාදයන් ශක්තිමත් කළ යුතු බවද හෙතෙම කීය.

ඊශ්‍රායල-ඉරාන ගැටුම පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරුණු අතර රටවල් අතර පවතින පරස්පරතාවන් සාමකාමී සංවාදය හා උපදේශනය මගින් විසඳා ගත යුතු බව චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය.

සියලු පාර්ශ්ව උණුසුම්කාරී තත්ත්වයන් සමනය කරමින් මැද පෙරදිග සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට ක්‍රියා කළ යුතු බවද හෙතෙම කීය. එහිදී අදහස් දැක්වූ ටෝනි බ්ලෙයාර් මහතා බ්‍රිතාන්‍යය, ඊශ්‍රායල-ඉරාන ගැටුම කෙරෙහි දැඩි සැලකිල්ල යොමු කරන අතර සාකච්ඡා ‍සඳහා රාජ්‍ය තාන්ත්‍රික  මාර්ගයන් අනුගමනය කරන ලෙසට ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

මේ අතර චීන විදේශ ඇමතිවරයා සහ චීන-ඉන්දීය දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිත මෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අතර හමුවක් ද බෙයිජිං නගරයේ දී සිදු විය.

එහිදී අදහස් දැක්වූ චීන විදේශ ඇමතිවරයා දෙපාර්ශ්වය සංවර්ධන අවස්ථාවන් පිළිබඳ එකඟතාවන්හි එල්බ සිටිය යුතු අතර එකනෙකාට තර්ජනයක් නොවිය යුතු බව පැවසීය. සතුරන් නොවී හවුල්කරුවන් විය යුතු බවද වන්ග් යී මහතා කීය.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශකයා අන්‍යෝන්‍ය අවස්ථාවන් සම්බන්ධයෙන් චීනය සමග සම්බන්ධීකරණ ශක්තිමත් කිරීමට ඉන්දියාව සූදානම් බව පැවසීය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපති ධුරයට චීනය පත්වීම කෙරෙහි ඉන්දියාව පූර්ණ සහාය පළ කරන බවද හෙතෙම කීය.