චීන-සිම්බාබ්වේ සම්බන්ධතාවය ‘සෑම කල්හිම පොදු ඉරණමක් සහිත චීන-සිම්බාබ්වේ  ප්‍රජාව’ ලෙස ඉහළ නැංවේ

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිම්බාබ්වේ ජනාධිපති Emmerson Dambudzo Mnangagwa මහතා හමුවෙයි. ඒ අද (4) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරයට එක්වීම සඳහා Emmerson Dambudzo Mnangagwa මහතා චීනයට පැමිණ සිටී.

දෙරට සම්බන්ධතාවය‘සෑම කල්හිම පොදු ඉරණමක් සහිත චීන-සිම්බාබ්වේ  ප්‍රජාව’ලෙස ඉහළ නංවන බව නායක දෙපළ එහි දී ප්‍රකාශ කළහ.

මෙම වසර චීනය සහ සිම්බාබ්වේ රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 45 වන සංවත්සරය බවත්, දෙරට අතර මිත්‍රත්වය චීන-අප්‍රිකා සහයෝගීතාවට සහ ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාවයට ද ආදර්ශයක් වී ඇති බව  ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

තම ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීම, බාහිර මැදිහත්වීම් සහ නීති විරෝධී සම්බාධකවලට විරුද්ධ වීම සහ දෙරට හා ගෝලීය දකුණේ පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනය සිම්බාබ්වේ රාජ්‍යය වෙත ස්ථිර සහාය ලබා දෙයි. ගෝලීය පාලන මුලපිරුම ඒකාබද්ධව ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් සාධාරණ ජාත්‍යන්තර පිළිවෙලක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණය සඳහා චීනය දැක්වූ සැලකිය යුතු දායකත්වය ජාත්‍යන්තර ප්‍රජාව මතක තබා ගත යුතු බව සිම්බාබ්වේ ජනාධිපතිවරයා පැවසීය. ගෝලීය පාලන මුලපිරුම ඇතුළු ප්‍රධාන මුලපිරුම් මාලාවක් ඉදිරිපත් කළ චීනය ජාත්‍යන්තර කටයුතුවලදී වඩාත් ක්‍රියාකාරී හා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම සඳහා මෙම මුලපිරුම් ක්‍රියාත්මක කිරීමේදී චීනය සමඟ එක්ව ක්‍රියා කිරීමට සිම්බාබ්වේ රාජ්‍යය කැමැත්තෙන් සිටින බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.