චීන හා පාකිස්ථාන විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රමාත්‍ය හා විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි.

කාෂ්මීර කලාප‍යේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය හා ඉන්දියාව අතර මතුව ඇති නවතම උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව එහිදී පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා විසින් චීන විදේශ අමාත්‍යවරයා  දැනුවත් කර තිබේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය අඛණ්ඩව හා දැඩිව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර ඇති බවයි. පවතින තත්ත්වය උත්සන්න කරන ඕනෑම ක්‍රියාවකට තම රට විරුද්ධ බවද හෙතෙම සඳහන් කර ඇත. තත්ත්වය පරිණත ආකාරයෙන් කළමණාකරනයට පාකිස්ථානය කැපවන අතරම චීනය හා ජාත්‍යන්තර ප්‍රජාව සමග සංනිවේදනයන් පවත්වා ගෙන යන බවද  ඉෂාක් ඩාර් මහතා එම දුරකථන සංවාදයේදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා චීනය අදාළ තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කළේය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සමස්ත ලෝකයේම වගකීමක් බව පැවසූ හෙතෙම ප්‍රති ත්‍රස්ත උත්සාහයන් වෙනුවෙන් චීනය පාකිස්ථානයට අඛණ්ඩව සහාය වන බවද කියා සිටියේය.

සෑම කල්හිම සිටින ප්‍රබලතම උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවෙකු වශයෙන් චීනයට පාකිස්ථානයේ නීත්‍යනුකූල ආරක්ෂක සැලකිලි සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ඇති අතර පාකිස්ථාන‍යේ ස්වෛරීත්වය හා ආරක්ෂ අභි‍ලාෂයන් සුරැකීමට සහයෝගය දක්වන බවද වන්ග් යී මහතා සඳහන් කළේය. පාකිස්ථානය හා ඉන්දියාව වඩාත් ඉවසීමෙන් කටයුතු කරමින් තත්ත්වය සමනය කිරීමට එක්ව කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද හෙතෙම කීය.