ජපාන අගමැතිනියගේ තායිවානය පිළිබඳ වැරදි ප්‍රකාශයට විරෝධය පා එරට වැසියන් වීදි බසියි

ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි විසින් චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ වැරදි ප්‍රකාශයට සහ ඒ පිළිබඳ ඇගේ කිසිදු පසුතැවීමක් නොමැති වීමට එරෙහිව විරෝධය පළ කරමින් ජපාන වැසියන් වීදි බසියි. එහිදී ටෝකියෝ නගරයේ පැවති දැවැන්ත විරෝධතාවකට එක්වෙමින් එම ජනතාව අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ, සිය වැරදි ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසය.

නොවැම්බර් 21 සහ 25 යන දිනවල පැවති විරෝධතාවලින් පසු යළිත් එරට අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට රැස් වූ සිය ගණනක් ජපාන වැසියන් ඇයට එරෙහිව අඛණ්ඩ විරෝධතාවන් හි නිරතව ඇත. මෙම උද්ඝෝෂණ සඳහා එක්වූවන් පවසන්නේ, අග්‍රාමාත්‍ය ටකයිචිගේ වැරදි ප්‍රකාශ හේතුවෙන් ජපානයත් චීනයත් අතර වත්මන් සබඳතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවය.

මෙම තත්ත්වය තුළ ජපාන-චීන සබඳතා පිරිහෙමින් පවතින බවත්, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වළකා ගැනීමට නම්‍ ටකයිචි ඇගේ වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගත යුතු බවත් විරෝධතාකරුවන්ගේ අදහස වී ඇත. එමෙන්ම අග්‍රාමාත්‍යවරියගේ මෙවැනි ප්‍රකාශ තුළින් ජපානය මිලිටරිවාදී විය හැකි බවට ඔවුන් සිය ගැඹුරු කණස්සල්ල ද පළ කර තිබේ.

චීන මහ ගොඩබිම, තායිවානයට බලය යෙදවීම ජපානයේ පැවැත්මට තර්ජනයක්  ඇති කළ හැකි බවත්, එවැනි අවස්ථාවකදී තායිවාන සමුද්‍ර සන්ධියේ සන්නද්ධ මැදිහත්වීමක් වෙනුවෙන් ජපානයේ හැකියාව පිළිබඳ අඟවමින් අග්‍රාමාත්‍ය සානේ ටකයිචි විසින් පසුගිය නොවැම්බර් 07 වැනි දින රැස්වීමකදී කළ වැරදි ප්‍රකාශය එරට දැඩි විවේචනයට ලක් විය.

කෙසේ වෙතත්, සිය ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නොපෙන්වූ ටකයිචි, එම වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීම ද ප්‍රතික්ෂේප කරමින්, පක්ෂ නායක විවාදයයන්හිදී පවා සිය වරද ආරක්ෂා කර ගැනීමට නිරන්තරව පියවර ගනු ලැබීය. 

මේ අතර, ජපානයේ Mainichi Shimbun විසින් ඊයේ (28) ප්‍රකාශයට පත් කරන ලද කතුවැකියක ද සඳහන් වූයේ, පක්ෂ නායකයින්ගේ විවාදයේදී අග්‍රාමාත්‍ය ටකයිචි සිය වැරදි ප්‍රකාශ ආරක්ෂා කිරීම, වගකීම අතහැරීමේ උත්සාහයක් බවය.

එමෙන්ම නොවැම්බර් 27 වැනි දින Asahi Shimbun විසින් ප්‍රකාශයට පත් කරන ලද තවත් කතුවැකියක ද මෙම සිදුවීම පිළිබඳ සඳහන් කරමින් පෙන්වා‍ දී තිබුණේ, තම හැසිරීම පිළිබඳ ගැඹුරින් විමසා බැලීමේ කිසිදු සලකුණක් ටකයිචි වෙතින් පෙන්නුම් නොකෙරෙන බවය.