තායිවානය පිළිබඳ වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙස චීනය යළි ජපානයෙන් ඉල්ලයි

තායිවානය පිළිබඳ වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙස චීනය නැවතත් ජපානයෙන් ඉල්ලා සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි. සාමය සඳහා වන නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (15) පැවති විවෘත විවාදයකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

2025 වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සැමරෙන 80 වන සංවත්සරය සනිටුහන් කරන බව සඳහන් කරමින් Fu Cong මහතා එහිදී සඳහන් කළේ, සාමය සඳහා වන නායකත්වය ඇරඹෙන්නේ, සාමය අගය කිරීම සහ යුක්තිය ආරක්ෂා කිරීම සමගින් බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ඉතිහාසය සිහිපත් කරමින් අනාගතය වෙනුවෙන් සැලසුම් කරමින් සිටින මොහොතක, ජපාන අග්‍රාමාත්‍ය Sanae Takaichi විසින් එරට පැවැත්ම සඳහා තර්ජනයක් ලෙස හඳුන්වනු ලබන ඊනියා තත්ත්වය, චීනයේ තායිවානයට සම්බන්ධ බව ප්‍රකාශ කිරීම සහ ජපානය තායිවාන ප්‍රශ්නය සඳහා හමුදාමය වශයෙන් මැදිහත් වන බවට ඇඟවීමත්, තර්ජනය කිරීමත්, ජාත්‍යන්තරයේ ප්‍රවණතාවයට පටහැනිව ගොස් ඇති බව ඔහු පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා කෙරෙන පැහැදිලි මැදිහත්වීමක් වන අතර, දෙවන ලෝක යුද්ධයේදී පරාජිත රාජ්‍යයක් ලෙස ජපානය, චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දුන් පොරොන්දු විවෘතව උල්ලංඝනය කිරීමකි. එමෙන්ම ජපානයේ මෙම හැසිරීම දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී ප්‍රතිඵල සහ පශ්චාත් යුද ජාත්‍යන්තර ක්‍රමවේදය සඳහා සෘජුවම අභියෝග කරන්නක් බවත් Fu Cong මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත පදනම් වූ ජාත්‍යන්තර සබඳතා පාලනය කෙරෙන මූලික සම්මතයන් ද උල්ලංඝනය කරනු ලබන ජපානයේ වත්මන් ක්‍රියාකලාපය‍, ආසියාවේ මෙන්ම ගෝලීය සාමයට ද බරපතල අවදානම් ඇති කරන බව හෙතෙම මෙහිදී අවධාරණය කර ඇත.

මීට වසර 80කට පෙර දෙවන ලෝක යුද සමයේදීද, ජපාන හමුදා විසින් එරට පැවැත්ම කෙරෙහි පවතින ඊනියා තර්ජනාත්මක තත්ත්වයක් මුවාවෙන් ආයුධ සන්නද්ධව  ආත්මාරක්ෂාවේ නාමයෙන් ආක්‍රමණ දියත් කළ අතර, එහිදී චීනයට මෙන්ම ආසියාවට සහ සමස්ත ලෝකයටම බරපතල ව්‍යසනයන් ගෙන දුන් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එබැවින් වසර 80කට පසු මිලිටරිවාදයේ සහ ෆැසිස්ට්වාදයේ යළි නැඟිටීමක් සඳහා අප ඉඩ නොදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මෙහිදී අවධාරණය කර ඇත. ඒ අනුව සිය ප්‍රකාශයන්හි වැරදිසහගත තත්ත්වය පිළිබඳව අවංකව මෙනෙහි කරමින්, පසුතැවීමෙන් යුතුව එම වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගනිමින්, යළි වැරදි මාර්ගයේ යාමෙන් වළකින ලෙස චීනය, ජපානයෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.

තවද, නීතිවිරෝධී ලෙසින් ජපානය අත්පත් කරගෙන තිබූ තායිවාන භූමිය, චීනය වෙත යළි ලබා දීම පශ්චාත් යුද ජාත්‍යන්තර ක්‍රමවේදයෙහි වැදගත් අංගයක් බවත්,  තායිවානය චීන භූමියේ අනිවාර්ය කොටසක් වීම දේශපාලනික සහ නීතිමය වශයෙන් ඒකාබද්ධව තහවුරු කරන ලද අභියෝගයට ලක් කළ නොහැකි කරුණක් බවත් Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කළේය.