තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සුහදත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැංවීම වර්ධනය කළ යුතු බව චීන ‍ක්වෝමින්තාන් පක්ෂ සභාපතිනිය කියයි

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සුහදත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැංවීම වර්ධනය කළ යුතු බව චීන ‍ක්වෝමින්තාන් පක්ෂ සභාපතිනී Cheng Li-wun  මහත්මිය පවසයි. සාමකාමී සංවර්ධනය සඳහා කැපවී සිටින ලෙසත් සහයෝගීතාවය සහ හුවමාරුව ඉදිරියට ගෙන යන ලෙසත් ඇය තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ සිය පක්ෂ නියෝජිත කණ්ඩායමකට නායකත්වය දෙමින් නැන්ජිං නගරයේ සිට ෂැංහයි දක්වා පැමිණි අවස්ථාවේදී ය.

මහ ගොඩබිමේ ජවය හා නිර්මාණශීලිත්වය ද ෂැංහයි නගරයේ සංචාරය අතරතුර ඇය බෙහෙවින් අගය කළාය. නියෝජිත කණ්ඩායම ප්‍රථමයෙන් චීනයේ ආහාර බෙදාහැරීමේ සේවාවේ නිරත Meituan සමාගමේ මූලස්ථානය නිරීක්ෂණය කළ අතර සුහුරු ආර්ථිකයේ වේගවත් සංවර්ධනය ඔවුන්ගේ ආකර්ශණයට ලක්විය. අනතුරුව නියෝජිත පිරිස හුවාංපු ගංඟාවේ ජලාශ්‍රිත ප්‍රදේශයක පොදු අවකාශයක් නරඹමින් මහ ගොඩබිමේ සහ චීනයේ තායිවාන ප්‍රදේශයේ තරුණයින් 20 දෙනෙකු පමණ පැවැත්වූ සංස්කෘතික හුවමාරු උත්සවයකට සහභාගී වූහ.

ගෝලීය නාවික  වෙළඳපොළේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන යැංෂාන් වරාය සහ C919 මගී ජෙට් යානය ඇතුළු දේශීයව සංවර්ධනය කරන ලද ගුවන් යානා නිෂ්පාදකයෙකු වන චීන වාණිජ ගුවන් යානා සංස්ථාව යටතේ පවතින ෂැංහයි ගුවන් යානා සැලසුම් සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද ඔවුහු එක්වූහ. නියෝජිත පිරිස ඊයේ(09) දහවල් ෂැංහයි සිට බෙයිජිං නුවර බලා පිටත් වූ අතර ඔවුන්ගේ මහ ගොඩබිමේ සංචාරය ඉරිදා(12) දිනය දක්වා ක්‍රියාත්මක වනු ඇත.