තීරුබදු යුද්ධයෙන් ඇමරිකා ආර්ථිකය‍ අවපාතයකට යන ලකුණු

තීරුබදු යුද්ධයෙන් ඇමරිකානු ආර්ථිකය‍ට සිදු ව ඇති හානිය දිනෙන් දිනම කැපී පෙනේ. ඇමරිකානු ‍ෆෙඩරල් සංචිතය පසුගියදා(23) නිකුත් කළ ආර්ථික තත්ත්වය පිළිබඳ දුඹුරු පත්‍රිකාවට අනුව, ආර්ථික අවිනිශ්චිතතාවේ වර්ධනයත් සමගම එරට බොහෝ ප්‍රදේශවල ඉදිරි ආර්ථික දැක්ම ඍණාත්මක තත්ත්වයක් පෙන්නුම් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වසරේ ඇමරිකාවේ ආර්ථික වර්ධන අපේක්ෂාව ද සැලකිය යුතු අගයකින් පහළ දමා ඇත.

‘අවපාතයේ අවදානම’ යන්න දැනට ඇමරිකානු ආර්ථිකය දෙස බැලීමේදී දැකිය හැකි විශාලතම කණස්සල්ල බව පැහැදිලි ය. ඇමරිකාවේ ප්‍රදේශ රැසක මහජන විරෝධතා පෙළපාලි ද පැවති බව වාර්තා විය. එමෙන්ම තීරුබදු ඉහළ නැංවීම  සම්බන්ධයෙන් ප්‍රාන්ත රැසක් ෆෙඩරල් රජයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත. මෙම ‘අතිරේක තීරුබදු’ පිළිබඳ කණගාටුවට පත්ව සිටින ඇමරිකානුවන්ගේ පාරිභෝගික විශ්වාසය ද දිනෙන් දින බිඳ වැටෙමින් තිබේ. පිරිවැය ඉහළ යාමත් සමග ලැබෙන ප්‍රතිලාභ අවම වීම ඇමරිකානු ව්‍යාපාර මේ වනවිට මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාරවලට, සේවක කප්පාදුව හෝ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට සිදු ව තිබේ.

තීරුබදු යුද්ධයෙන් වැඩි පීඩනයක් එල්ල වී ඇත්තේ ඇමරිකාවේ කෘෂිකර්මාන්තයට ය. කාලයක් පුරා චීනය ඇමරිකා‍වේ සෝයා ඇට නිෂ්පාදනයේ විශාලතම ගැනුම්කරුවා ය. චීන වෙළඳපොල අහිමි වූ ඇමරිකානු ගොවි ජනතාව එය‍ට දොස් නගමින් සිටින අතරම බ්‍රසීලය හා ඔස්ට්‍රේලියාව චීනයට සිදු කරන අපනයනය වැඩි කිරීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් ය.

තීරුබදු යුදමය තත්ත්වය සමනය කිරීම පිළිබඳ ඇමරිකාව දැනට නිකුත් කළ තොරතුරු හමුවේ චීනය ප්‍රකාශ කර ඇත්තේ, මෙතෙක් ආර්ථික වෙළඳ සාකච්ඡා පවත්වා නොමැති බවත්, චීනයට පනවන ඒකපාර්ශ්වික තීරුබදු සම්පූර්ණයෙන් අහෝසි කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවත් ය. ඇමරිකාව සැබවින්ම අර්බුදය දෙස නිසි අවධානයක් යොමු කර සාධාරණ ප්‍රවේශයක් සහිත සාකච්ඡා මගින් ගැටළු විසඳා ගැනීමට උත්සාහ දැරිය යුතුය. එසේ නැතහොත්, ‘ඇමරිකාව යළි ශ්‍රේෂ්ඨ වීම’ ට උත්සාහ දැරීම ෆැන්ටසියක් පමණක් ම වනු ඇත.