තීරු බදු සටනින් ජය ගැනීමට ගන්නා උත්සාහය තුළ ඇමරිකාවේ වෙළඳ අසමබරතාව තවත් උග්‍ර වීමේ අවදානමක

පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය ඇමරිකාවේ බලයට පැමිණීමට ඇත්තේ දින කිහිපයකි. එලෙස බලයට පැමිණීමත් සමඟ නව රජය දියත් කිරීමට බලාපොරොත්තු වන නව වටයේ තීරු බදු කෙරෙහි බොහෝ ඇමරිකානු ජාතිකයන් දක්වන්නේ අසුබවාදී ආකල්පයකි. 2018 වසරේ මාර්තු මස එවකට බලයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රජය ආනයනික චීන භාණ්ඩ කෙරේ අතිරේක තීරු බදු පැනවීම හේතුවෙන් චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ ආරවුල හට ගැනිණ. එතැන් සිට මේ දක්වා චීනය හා ඇමරිකාව අතර පවතින ආර්ථික හා වෙළඳ ගැටළු හේතුවෙන් ඇමරිකානු පාරිභෝගිකයන් හා ව්‍යවසායන් දැඩි අපහසුතාවට පත්ව සිටී.

 ඉකුත් දෙසැම්බරයේ ඇමරිකානු ජාතිකයන් 2000ක් සහභාගී කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී එහි තුනෙන් එකක පිරිසක් කියා සිටියේ, ඉදිරියේ දී රජය පනවන අතිරේක තීරු බදු පිළිබඳ කණස්සල්ලෙන් පසුවන බවයි. සිය මිලදී ගැනීම් වැඩි කරන බව ද ඔවුන් සඳහන් කර ඇත. ඉහළ තීරු බදු පැනවීමෙන් ඇති වූ අනිටු විපාක ඇමරිකානු පාරිභෝගිකයන්ට විඳීමට සිදු වූ බවට එරට ආර්ථික විද්‍යාඥයන්ගෙන් 98%ක පමණ පිරිසක් අදහස් පළ කර තිබේ. ඇමරිකාවේ ඉහළ උද්ධමනයට එම ඉහළ තීරු බදු පැනවීම සෘජුවම බල පෑ හෙයින් වෙළඳ භාණ්ඩ හුවමාරු ක්‍රියාවලිය අසීරු තත්ත්වයක පවතී. ඉන් ආර්ථික වර්ධනයට බාධා එල්ල වූ බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

            සිය නිෂ්පාදන කර්මාන්තය පණගැන්වීම ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමේ අරමුණකි. එහෙත් එම අරමුණ ඉටු වී නොමැත. ඇමරිකානු නිෂ්පාදන කර්මාන්තය යැපෙන්නේ විවිධ රටවලින් ආනයනික අතරමැදි නිෂ්පාදිත විශාල සංඛ්‍යාවක් මත ය. එම ආනයනික අතරමැදි නිෂ්පාදිත කෙරෙහි ඉහළ තීරු බදු පැනවීමෙන් ඇමරිකාවේ නිෂ්පාදන පිරිවැය විශාල වශයෙන් ඉහළ යන බැවින් නිෂ්පාදන තරගකාරීත්වය අවම කර තිබේ. එමෙන් ම අතිරේක තීරු බදු පැනවීමෙන් ඇමරිකාව සිය ඇතැම් කර්මාන්ත ආරක්ෂා කළද, අදාළ රටවල් ගෙන ඇති ප්‍රතිපියවර හේතුවෙන් ඇමරිකාවේ ඇතැම් ව්‍යවාසයන්හි ලාභ පහළ ගොස් ඇත. ඉන් රැකියා නියුක්ති වෙළඳපොලට ඇති වන සෘණාත්මක බලපෑම් ද සුළුපටු නොවේ. එසේ ම අතිරේක තීරු බදු මගින් වෙළඳාමේ අසමබරතාව තුරන් කිරීමට ඇමරිකාව දැරූ උත්සාහයන් ද අසාර්ථක ය. යම්හෙයකින් අදාළ රටවල් පළිගැනීමක් වශයෙන් ඇමරිකාවට එරෙහිව ඉහළ තීරු බදු පැනවුවහොත් ඇමරිකාවේ අපනයන පරිමාව හා ගෝලීය වෙළඳ පරිමාව පහත වැටිය හැකි වනු ඇත. 

තීරු බදු සටනින් ඇමරිකාවට ජය ගැනීමට නොහැකි ය. එහෙත් එම සටනින් ඇමරිකාවේ වෙළඳ අසමබරතාව තවත් උග්‍ර වන බවට නම් කිසිදු සැකයක් නැත.