දකුණු චීන මුහුදේ ඉතිහාසය සහ යථාර්ථය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

“දකුණු චීන මුහුද: ඉතිහාසය සහ යථාර්ථය” යන මැයෙන් සංවිධානය කළ ජාත්‍යන්තර අධ්‍යයන සම්මන්ත්‍රණය ඊයේ (10) බෙයිජිං හිදී පැවැත්විණ.  දකුණු චීන මුහුදු අධ්‍යයන සඳහා වූ චීන ආයතනය සහ Huayang සාගර පර්යේෂණ මධ්‍යස්ථානය සම සත්කාරකත්වය දරන මෙම සමුළුව සඳහා චීනය, බ්‍රිතාන්‍යය සහ රුසියාව ඇතුළු රටවල් සහ කලාප 10 කට වැඩි ගණනකින් විශේෂඥයින්, විද්වතුන් සහ ආයතනික නියෝජිතයින් 150 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයක් වාර්තා විය.

දකුණු චීන මුහුදු අධ්‍යයන ආයතන කමිටුවේ සභාපති සහ Huayang සාගර පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති Wu Shicun මහතා එහිදී දේශනයක් පැවැත්වීය. දකුණු චීන මුහුදේ දූපත් සඳහා චීනයේ ස්වෛරීභාවයට ප්‍රමාණවත් ඓතිහාසික හා නීතිමය පදනමක් ඇතැයි ඔහු පැවසීය.

අතීතයේ සිටම චීන ජනතාව දකුණු චීන මුහුදු කලාපය කළමනාකරණය කර පරිපාලනය කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු, 1946 වසරේ දී “Cairo ප්‍රකාශනය” සහ “Potsdam ප්‍රකාශනය” මත පදනම්ව, දකුණු චීන මුහුදේ අධිකරණ බලය චීනය නැවතත් ලබාගනිමින් ඒ බව ලොව හමුවේ ප්‍රකාශයට පත් කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ක්‍රමවේදය ඒකාබද්ධව පවත්වා ගෙන යන ලෙසත්, බාහිර බලවේගයන් හි අතපෙවීම් ප්‍රතික්ෂේප කරන ලෙසත්, Wu Shicun මහතා කලාපීය රටවලින් ඉල්ලා සිටියේ ය. එසේම අදාළ රටවල් “දකුණු චීන මුහුදේ හැසිරීම් සංග්‍රහය” පිළිබඳ උපදේශනය වේගවත් කළ යුතු බවත්, ප්‍රායෝගික සහයෝගීතාවය තුළින් පොදු ඉරණමක් සහිත දකුණු චීන මුහුදු කලාපීය ප්‍රජාවක් එහි ගොඩනැඟිය යුතු බවත්, ඔහු මෙහිදී අවධාරණය කළේ ය.