දකුණු චීන මුහුද පිළිබඳ ඇතැම් රටවල වැරදි ප්‍රකාශ වෙත චීනයෙන් දැඩි ප්‍රතිචාර

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් ඇතැම් රටවල් ඉදිරිපත් කර ඇති වැරදි ප්‍රකාශ වෙත චීනය දැඩි ලෙස ප්‍රතිචාර දක්වයි. 80 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ “සාගරය සහ මුහුදේ නීතිය” යන මැයෙන් ඊයේ(8) පැවති සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා මේ අදහස් පළ කළේය.

දකුණු චීන මුහුදේ දූපත් සහ ඊට යාබද මුහුදු කලාප කෙරෙහි චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇති බවත්, අදාළ මුහුදු ප්‍රදේශ කෙරෙහි ස්වෛරී අයිතිවාසිකම් සහ අධිකරණ බලය චීනය සතු වන බවත්, Sun Lei මහතා එහිදී සඳහන් කළේ ය. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් සඳහා පූර්ණ ඓතිහාසික හා නීතිමය පදනම් ඇති බව ඔහු අවධාරණය කළේ ය.

පිලිපීනයේ ඊනියා “සමුද්‍රීය ප්‍රදේශ නීතිය”, චීනයේ Huangyan දූපත සහ Nansha දූපත් සමූහයේ බොහෝ දූපත්, ගල්පර සහ ඒ ආශ්‍රිත ජලය, නීති විරෝධී ලෙස පිලිපීනයේ සමුද්‍රීය කලාපය වෙත එක් කළේ ය. මෙය චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන අතර, චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව, Sun Lei මහතා එහිදී සඳහන් කළේ ය.

එසේම පිලිපීන දූපත් සමූහයේ මුහුදු මංතීරු නීතිය විවිධ අයුරින් ජාත්‍යන්තර නීතීන්ට පටහැනි වන අතර, සියලු පාර්ශ්වයන්ගේ නාවික නිදහසට අදාළ අයිතිවාසිකම් අඩපණ කරන බව, චීන නියෝජිතයා පැවසීය.

දකුණු චීන මුහුදේ තත්ත්වය වර්තමානයේ සාමාන්‍ය ස්ථාවර මට්ටමක පවතී. කෙසේ වෙතත්, ඇමරිකාව දකුණු චීන මුහුදු කලාපයෙහි සිය හමුදා යෙදවීම් සහ මෙහෙයුම් අඛණ්ඩව ශක්තිමත් කිරීම, ගැටුම් සහ මතභේද උසිගැන්වීම හා උත්සන්න කිරීම, දකුණු චීන මුහුදෙහි ආරක්ෂාවට එරෙහි විශාලතම අභියෝගය වන බව, Sun Lei මහතා අවධාරණය කළේ ය.  

මෙම ගැටලුවට සෘජුවම සම්බන්ධ රටවල් සමග සාකච්ඡා සහ උපදේශන මගින් ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සඳහා චීනය අඛණ්ඩව අවධානය යොමු කරනු ඇත. අදාළ පාර්ශ්ව සමඟ දකුණු චීන මුහුදෙහි සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මෙන්ම, කලාපීය සංවර්ධනය හා සමෘද්ධිය එක්ව ප්‍රවර්ධනය කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව, Sun Lei මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.