චීනය හා බොලිවියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 40 වන සංවත්සරය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ බොලිවියානු ජනාධිපති Luis Alberto Arce Catacora මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.
චීනය සහ බොලිවියාව යහපත් මිතුරන් මෙන්ම සහෝදරයන් බව ෂී ජින්පිං මහතා අද (09) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දුන්නේය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගතවූ වසර 40 තුළ, ජාත්‍යන්තර වෙනස්කම් හමුවේ ද ඔරොත්තු දෙමින්, චීන-බොලිවියානු සබඳතා සැමවිටම යහපත් සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. මූලික අවශ්‍යතා සහ විශේෂ අවධානයට ලක් වූ ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකිනෙකා වෙත ස්ථිරව සහයෝගය දක්වා ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීමේදී ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර, ජනතාව අතර මිත්‍රත්වය ඔවුන්ගේ හදවත් තුළ වඩාත් ගැඹුරින් මුල් බැස ගෙන ඇත. චීන-බොලිවියානු සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් දක්වන අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ උපායමාර්ගික හවුල්කාරිත්වය නව මට්ටමකට ගෙන යාමට මෙන්ම දෙරටේ ජනතාවට වඩා වැඩි සුබසෙත ලබා දීමට Luis Alberto Arce Catacora ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.
යටිතල පහසුකම්, තාක්ෂණය, බලශක්තිය, සෞඛ්‍ය සහ අනෙකුත් ක්ෂේත්රයන් හි චීනයේ සහයෝගය බොලිවියාව බෙහෙවින් අගය කරන බවත්, ගෝලීය දකුණේ එක්සත් කිරීම, ලතින් ඇමරිකානු-චීන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ වඩාත් සාධාරණ, සමාන ජාත්‍යන්තර ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා චීනයේ ප්රමුඛ කාර්යභාරය ප්‍රශංසා කරන බවත් බොලිවියානු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩය ප්‍රකාශ කරයි. එමෙන්ම බොලිවියාව දෙරටේ ජනතාව අතර සහෝදර මිත්‍රත්වය ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.