කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන ජනරජය (DPRK) සමඟ සබඳතා වර්ධනය කිරීමේ ධනාත්මක ගම්‍යතාව අඛණ්ඩව තහවුරු කිරීමේ අරමුණින් කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන හෙතෙම, කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන ජනරජයේ (උතුරු කොරියානු) විදේශ අමාත්‍ය චෝ සොන් හුයි මහත්මිය සමඟ ඊයේ (09) උතුරු කොරියාවේ පියොංයැංහි පැවති සාකච්ඡාවලදී මේ බව ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනපති ෂී ජින්පින් මහතා සහ කොරියානු කම්කරු පක්ෂයේ (WPK) මහලේකම්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා 2025 වසරේ සැප්තැම්බර් මස මුලදී, බෙයිජිංහිදී ඓතිහාසික හමුවකට එක්වූ බවත්, ද්විපාර්ශ්වික සබඳතාවන්ට අදාළව සමස්ත, උපායමාර්ගික සහ දිශානුගත ගැටලු සම්බන්ධයෙන් එහිදී වැදගත් එකඟතාවකට පැමිණි බවත් වැන්ග් යී මහතා මෙහිදී පැවසීය.
2026 වසර චීන-උතුරු කොරියානු මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ 65 වන සංවත්සරය සනිටුහන් කරන අතර ඒ වෙනුවෙන් සැමරුම් උත්සව පවත්වමින් ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කර සියලු මට්ටම්හි සංවාද සහ ප්‍රායෝගික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට චීනය සූදානම්ය. එහිදී දෙරටෙහි ජනතාව අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීමටත්, අදාළ ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වීමටත් චීනය, උතුරු කොරියානු පාර්ශ්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොන් හුයි මහත්මිය සඳහන් කළේ, චීනය සමඟ මිත්‍රත්වය පොදු සමාජවාදී ක්‍රමය සහ සාම්ප්‍රදායික මිත්‍රත්වය මත පදනම් වී ඇති බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ගැඹුරු බව ශක්තිමත් බව සහ තිරසාර බව පෙන්නුම් කරන බවත්ය.
එමෙන්ම උතුරු කොරියාව “එක් චීනයක්” මූලධර්මය සඳහා පූර්ණ සහාය ලබා දෙන බවත්, චීනයේ අභ්‍යන්තර කටයුතු වෙත ඇඟිලි ගැසීමට දැඩි ලෙස විරුද්ධ වන බවත් ඇය පැවසුවාය. තවද, තායිවානය, Xizang සහ Xinjiang යන ප්‍රදේශ මෙන්ම චීනයේ සෙසු ගැටළු සම්බන්ධයෙන් ද ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය වෙනුවෙන් තම රට උපරිම සහාය දක්වන බවත් උතුරු කොරියානු විදේශ අමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම චීන ජනපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්ම සහ යෝජනා කරන ලද ගෝලීය මුලපිරුම් හතර සම්පූර්ණයෙන්ම අනුමත කරන තම රට, ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී චීනයේ සාධාරණ ස්ථාවරය සහ වැදගත් භූමිකාව බෙහෙවින් අගය කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
