පිලිපීනය දකුණු චීන මුහුදේ ගල්පර හා සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම චීනය හෙළා දකී

චීන වෙරළාරක්ෂක බලකාය, එරට Zhubi Jiao සහ Tiexian Jiao මුහුදු ගල්පර වටා පිලිපීනයේ නීති විරෝධී ක්‍රියාකාරකම් විවේචනය කරයි.

පිලිපීනයට අයත් නෞකා‍ දෙකක් චීන රජයේ අනුමැතියකින් තොරව බදාදා දිනයේ දී Zhubi Jiao සහ Tiexian Jiao මුහුදු කලාපය වෙත නීති විරෝධී ලෙස ඇතුළු වූ බවත්, ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස Tiexian Jiao වෙත ගොඩ බැස්වීම් සිදු කළ බවත් චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Liu Dejun පැවසීය. 

එහිදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාධාරණ සහ නිත්‍යානුකූල ආකාරයෙන් කටයුතු කිරීම සඳහා චීන වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් අදාළ නෞකාවන්ට එරෙහිව පියවර ගෙන ඇත. 

කෙසේ වෙතත්, මෙම නෞකා දෙක අතරින් එක් පිලිපීන නෞකාවක්, චීන පාර්ශ්වයෙන් නිකුත් කරන ලද විවිධ වූ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින්, රාජකාරියේ නිරතව සිටි චීන වෙරළාරක්ෂක බලකා නෞකාවක් ආසන්නයටම භයානක ලෙස ළඟා වූ බවත් එහිදී යාත්‍රා දෙක අතර ගැටුමක් හටගත් බවත් Liu Dejun පැවසීය. 

ඒ අනුව එම සිද්ධියට පිලිපීන පාර්ශ්වය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කර ඇත. 

පිලිපීනයේ මෙම ක්‍රියාවන් චීනයේ භෞමික ස්වෛරීභාවය මෙන්ම දකුණු චීන මුහුදු කලාපය තුළ අදාළ පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශනය ද දැඩිව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙන Liu Dejun පවසන්නේ මෙය කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට හානි කර ඇති බවත් ය. 

එබැවින් චීනයේ ස්වෛරීභාවය සහ රට තුළ අධිකරණ බලය යටතේ ඇති ජලයේ අයිතිවාසිකම් නිත්‍යානුකූලව ආරක්ෂා කිරීම සඳහා චීන වෙරළාරක්ෂක බලකාය සිය නීති බලාත්මක කිරීමේ ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කරනු ඇති බව දන්වා තිබේ.