‘පොදු සම්මුතියකින් අභියෝග ජය ගනිමු, සමෘද්ධිමත් ලෝකයක් ගොඩනගමු’යන මැයෙන් විද්වත් සාකච්ඡාවක් කොළඹදී පැවැත්වේ. ගෝලීය අභියෝග ජයගැනීම සඳහා පොදු එකගතාවන් තුළින් ක්‍රියා කිරීමේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ එහිදී අවධානය යොමුවිය.
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශය විසින් එය සංවිධාන කරන ලදි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ පැවති මෙම සංවාදයට විද්වත්හූ,මාධ්‍යවේදීහූ මෙන්ම විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් එක්වූහ. එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා පාර්ලිමෙන්තු මන්ත්‍රීනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළේ දේශීය වශයෙන් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් යුතු ආර්ථික සංවර්ධනයක නිරතවීම රජයේ අපේක්ෂාව බවයි. සෑම ජන කොට්ඨාසයක්ම ආර්ථික ක්‍රියාවලියට විවිධ අංශ ඔස්සේ දායක කර ගැනීම එහිදී සිදු කෙරේ. ජාත්‍යන්තර වශයෙන් බහුපාර්ශ්විකත්වය පදනම් කරගත් සහයෝගතා පිළිවෙතක් අනුගමනය කළ යුතු අතර පොදු එකඟත්වයන් තුළින් අභියෝග ජයගෙන ඉදිරියට යාමට ඉන් අවකාශය හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇය කීවාය.
එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතියේ සෑම ප්‍රතිලාභයක්ම ලබාගත හැකි හොඳම ආකාරයකින් ඉදිරියට ගෙනයාමට නව රජය කටයුතු කරන බවද ඇය එහිදී වැඩිදුරටත් සදහන් කළාය .මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම්, ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සහ ජාතික පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරුද එහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.
